ශ්‍රී ලංකා ‐ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒකාබද්ධ කොමිසමේ දෙවැනි සැසි වාරය මේ වසර අගදී කොළඹ දී පැවැත්වීමට දෙරටේ විදේශ අමාත්‍යවරු එකඟතාවය පළ කළහ.
මෙරට නිල සංචාරයක් සඳහා ඉකුත්දා පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමති ෂීක් අබ්දුල්ලා බින් සයිඩ් අල් නයාන් මහතා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේදී මෙම එකඟත්වයට එළැඹියේය.
දෙරට වෙළඳ හි ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයිනගේ සුබ සාධනය ඉහළ නැංවීම, කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන කාරණා සම්බන්ධයෙන් මෙම ඒකාබද්ධ කොමිසම් දෙවැනි සැසි වාරයේදී සාකච්ඡා කෙරෙනු ඇත.
එමෙන්ම රජය විසින් නව ආර්ථික සංවර්ධන කලාප 45 පිහිටුවීමට අදහස් කරන බවත් ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම් වලට මෙරට ආයෝජන අවස්ථා ඇති බවද එරට විදේශ අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන දෙලක්ෂ පනස් දහසක් පමණ වන ශ්‍රී ලාංකික විසින් මෙරට ආර්ථිකය සවිබල ගැන්වීම සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍යවරයාට ස්තූතිය පළ කිරීමට අමතක නොකළේය.ගෘහ සේවකයින් ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැකියා සඳහා යන සියලූ ලාංකිකයින්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී පොරොන්දු වීය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් චිත‍්‍රාංගනී වාගීෂ්වර , විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්, ආයෝජන මණ්ඩල සභාපති නීතීඥ උපුල් ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


