ලංකා - මෝල්ටා ද්වි පාර්ශවික ගිවිසුමක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ මෝල්ටා ජන රජය අතර ද්වීපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දූපත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් ශ්‍රී ලංකාව සහ මෝල්ටා ජන රජය සමුද්‍රීය කටයුතු, දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය සංසද වලදී සහයෝගයෙන් කටයුතු කරනු ලැබ ඇත. 

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 25 වැනි සංවත්සරය ද මේ වසරට යෙදී තිබේ.

ඒ අනුව, දේශපාලන, ආර්ථික, වෙළෙඳ, ආයෝජන, කොන්සියුලර් සහ සංස්කෘතික ආදී අංශයන්හි ද්වීපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම හා ශක්තිමත් කිරීම සඳහා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ මෝල්ටා ජන රජයේ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍යාංශය අතර ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.