රෝහිතගේ නඩුව 24 වැනි දාට කල්යයි


(මනෝප‍්‍රිය ගුණසේකර)

සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළවල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන 24 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා තීරණය කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාගේ පෞද්ගලික හේතුවක් මත නඩු විභාගය කල් තබන්නැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩුව විභාගයට ගැනීම ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට තීරණය කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නේය.

2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම්වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම් වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.
 
ඒ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් නීතීඥ කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට පෙනී සිටින ජනාධිපති නීතීඥවරයාගේ පෞද්ගලික හේතුවක් මත මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් නීතීඥවරයකුගේ පෞද්ගලික හේතුවක් මත මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් තැබීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයිද කෙසේ නමුත් මෙම නඩුව විභාගයට ගැනීමට දින නියම කරන්නැයි ද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරුයා මෙම නඩුව ලබන 24 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.