(ජේ.කේ.එල්.චාමින්ද)
කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඉන්දීය ජාතිකයකු රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට අදාළ ගාස්තු නොගෙවීම සම්බන්ධයෙන් එම විදේශීකයා ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ජිනේෂ් කුමාර් නයට් නැමති (56) ඉන්දියාවේ ගුජරාට්හි පදිංචි ඇමෙරිකා සම්භවයක් ඇති ඉන්දියානු ජාතිකයෙකි.
මෙම පුද්ගලයා පසුගිය මැයි 25 වැනි දා අංශභාග රෝග තත්වයක් හේතුවෙන් අකුරැස්ස රෝහලට ඇතුළත් වී ඇති අතර පසුව ඉකුත් ජුනි 3 වැනි දා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර එවා ඇත.
මෙම පුද්ගලයාට කරාපිටිය රෝහලේ දී ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඉකුත් 06 වැනිදා රෝහලෙන් නිදහස් කර ඇතත් මෙම පුද්ගලයා රෝහල වෙත ගෙවිය යුතු ගාස්තු නොගෙවා රොහල තුළම රැඳී සිට තිබේ.
මෙම විදේශීකයා රෝහලට ගෙවීමට ඇති මුදල වන හාරලක්ෂ හතලිස් හයදහස් අසූනවයක මුදල නොගෙවීම හේතුවෙන් කරාපිටිය රෝහලේ පාලනාධිකාරිය විසින් ගාල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මොහු සතුව මෙරට රැඳී සිටීමට අදාළ වලංගු බලපත්‍ර කිසිවක් නොමැති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවාරණය වී තිබේ.