රෝස තිරුවානා නිධිය කැණීම නවත්වයි


විනීතා එම් ගමගේ
 
මාතලේ, උකුවෙල, රත්වත්තේ පිහිටි රෝස තිරුවානා නිධිය කැණිම් සඳහා ලබා දී ඇති බලපත‍්‍රය අත්හිටුවීමට එම ප‍්‍රාදේශීය සභාව කටයුතු කළ බව එම සභාවේ උප සභාපති ඒ ජේ ඒ නිෂා මහතා අද (13) පැවැසීය.


මෙම පියවර ගනු ලැබුයේ මන්ත‍්‍රීවරු සියලූ දෙනා ඒකමතිකව ගත් තීරණයක් අනුව යැයි ද උප සභාපතිවරයා කියා සිටියේය. 


ප‍්‍රාදේශීය සභාව විසුරුවා ගතවූ වසර දෙක හමාරක පමණ කාලයේදී සභාව කොමසාරිස්වරයාගේ පාලනයට ලක්ව තිබු බවත් එම කාලය තුළ මෙම රෝස තිරුවානා නිධිය කැණිම සඳහා බලපත‍්‍ර ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටියේය. 


2007 වසරේ දී ද මෙම රෝස තිරුවානා නිධිය කැණීම සඳහා බලපත‍්‍රයක් නිකුත් කර තිබු අතර එම අවස්ථාවේ දී ද පක්ෂ විපක්ෂ සියලූම මන්ත‍්‍රීවරුන් එක්ව ආරම්භ කළ විරෝධතාවකින් පසු එහි කැණීම් නැවතුණ බව මන්ත‍්‍රීවරයා සිහිපත් කළේය. 


මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලැබී ඇතැයි ද , එසේ වුවත් ප‍්‍රාදේශීය සභාව කිසිසේත්ම මේ සඳහා අවසර නොදෙන බව ද හෙතෙම කියා සිටියේය. 


මෙම රෝස තිරුවානා නිධිය කැණීමෙන් මාතලේ උකුවෙල ප‍්‍රධාන මාර්ගයට හානි වීමට ඉඩකඩ ඇතැයි ද ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.