රෝමයේ වාසය කරන කතක රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සේවකයකුට විරුද්ධව කළ පැමිණිල්ලක් පිළිබඳව ”ලංකාදීප” එසැණින් පසුගියදා අනාවරණය කෙළේය. එම අනාවරණය සමග මාධ්‍යයට ප‍්‍රකාශයක් දුන්නැයි පවසමින් ඔහුගෙන් නිදහසට කරුණු විමසා තානාපති කාර්යාල නිලධාරියකු තම සැමියාට ලිපියක් එවා ඇතැයි ඔහුගේ බිරිඳ (44) මහරගම සිට දුරකථනයෙන් අප සමග පැවසීය. වසර විසිතුනක රාජ්‍ය සේවයේ යෙදෙන තම සැමියාට විරුද්ධව කිසිඳු චෝදනාවක් මෙතෙක් මතු නොවූ බවත් මෙය කිසියම් පිරිසකගේ පලි ගැනීමේ චේතනාවෙන් ගෙතූ බේරුවක් බවත් රෝමයේ සිටින තම ඥාතීන් මඟින් පැමිණිල්ල කළ කාන්තාව ගැන සොයා බැලූ බවත් ඇය කීවාය. තම සැමියා තානාපති කාර්යාල භූමියේ දී එම කාන්තාවට අයුතු යෝජනාවක් කළැයි කියන අගෝස්තු 31 වැනිදා තානාපති කාර්යාලය නිවාඩු දිනයක් බව ද පැමිණිල්ල කැර ඇත්තේ මාස හතරකට පසු දෙසැම්බර් 27 වෙනිදා බව ද මෙයින් වැටහෙනුයේ කිසියම් පිරිසකගේ උවමනාවක් මත දැමූ බොරු පැමිණිල්ලක් බව ද සේවකයාගේ බිරිඳ එසැණට පැවසීය.

