(උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලට පිවිසෙන ප‍්‍රධාන දොරටු දෙක අතරින් ජයිකා ගොඩනැගිල්ල අසලින් ඇති දොරටුවෙන් රෝගීන් ඇතුළත් කිරීම රෝහල් ආරක්ෂකයින් විසින් තහනම් කරනු ලැබීම හේතුවෙන් රෝගී ජීවිතවලට දැඩි අවදානමක් පවතින බවට රෝගීහු චෝදනා කරති.
මෙම දොරටුවෙන් රෝගීන් ඇතුළත් කිරීම තහනම් කර තිබුණද එම දොරටුව වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට දවසේ පැය විසි හතර පුරාම විවෘතව පවතී.
මීට ආසන්නතම සිදධිය නම් යතුරු පැදි අනතුරකට ලක්ව බරපතල තුවාල ලැබූවකු රෝහලට ඇතුළත් කිරීමට ගෙන ආ අවස්ථාවයි.
යුද හමුදා මේජර් නාමල් තිලකරත්න මහතා විසින් අදාළ රෝගියා රෝහලට ඇතුළත් කිරීම සඳහා එම රෝහලට පිවිසෙන ආසන්නතම ප‍්‍රධාන දොරටුව (ජයිකා ගොඩනැගිල්ල අසල) වෙත රැගෙන පැමිණ තිබිණි.
එම දොරටුවෙන් රෝගියා ඇතුළත් කිරීමට උත්සහ කළද රෝහල් ආරක්ෂකයින් හමුදා මේජර්වරයාට ඊට ඉඩ ලබාදි නොමැත.
මේජර්වරයා සහ අසල සිටි සෙසු රෝගීන් ආරක්ෂකයින්ගේ මෙම ක‍්‍රියාවට දැඩි විරෝධය පළ කර රෝගියා ඇතුළත් කිරීමට උත්සහ දැරුවද ආරක්ෂකයින් දොරටුව විවෘත කර දී නැත.
දොරටුව විවෘත කර රෝගියා ඇතුළත් කිරීමට ඉඩ ලබා දෙන ලෙස වෛද්‍යවරියකද ආරක්ෂකයින්ට දනුම් දී ඇතත් එම ඉල්ලීමද ආරක්ෂකයින් තරයේ ප‍්‍රතික්ෂේප කර තිබිණි.
පසුව මහත් පරිශ‍්‍රමයක් දරා වෙනත් පුද්ගලයකු මගින් දොරටුව විවෘත කර රෝගියා රෝහල් ගත කිරිමට මේජර්වරයා කටයුතු කර ඇත.
රෝහල් ආරක්ෂකයින් විසින් ගෙන යන මෙම අවදානම් සහිත ක්‍රියාව පිළිබඳ තිලකරත්න මහතා උසස් සෞඛ්‍ය හා ආරක්ෂක බලධාරීන්ට පැමිණිලි කිරීමටද කටයුතු කරගෙන යන බව වාර්තා වේ.
රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන රෝගීන් ‘අහවල් දොරටුවෙන් ඇතුළත් කරන්න‘ යැයි පවසමින් ප‍්‍රමාද කිරීමට සහ අදාළ රෝගියාගේ රෝගී තත්ත්වය ගැන නිශ්චය කිරීමට ආරක්ෂයින්ට ඇති සුදුසුකම කුමක් දැයි ජනතාව ප‍්‍රශ්න කරති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා පැවසූවේ ගිලන් රථ සහ සෙසු බාහිර රෝගීන් ඇතුළත් කිරිමට විවෘතව පවතින්නේ පී ඞී කාර්යාලය ඉදිරිපිටින් ඇති දොරටුව බවයි.
අනෙක් දොරටුවෙන් (ජයිකා ගොඩනැගිල්ල අසල) රෝගීන් ඇතුළත් කිරිමට ඉඩ ලබා නොදීමෙන් රෝගී ජීවිතවලට අවදානමක් ඇති නොවන්නේදැයි විමසු විට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ ප‍්‍රමාදයකින් තොරව රෝගින් ඇතුළත් කළ හැක්කේ පී ඞී කාර්යාලය ඉදිරිපිට දොරටුවෙන් බවයි.

