(නිශාන්ත කුමාර )
බදුල්ල මහියංගන මාර්ගයේ බදුල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් අද(22) එම මාර්ගයේ 10 කණුව ගොවිපළගම ප්‍රදේශයේ දි එකිනෙක ගැටීමෙන් බස් රථ දෙකෙහි ගමන් ගත් පිරිසක් තුවාල ලැබූහ.
අනතුරට ලක්ව ඇත්තේ මහියංගන හා මහනුවර ප්‍රදේශවල සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකකි.
බස් රථ දෙකම කිලෝමීටර් ගණනාවක්ම අධික වේගයෙන් එකිනෙකා පරයා ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බව බස් රථවල පැමිණි මගීහු පිරිසක් ලංකාදීපයට පැවැසූහ.
බස් රථ දෙක මාර්ගය මැද හිරවීමත් සමගම එක් මන්තීරුවක් මුළුමනින්මත් අනෙක් මං තීරුවේ අඩකුත් අවහිර වූ අතර එම ස්ථානයෙන් ගමන් ගත් තවත් ලංගම බස් රථයක්ද ඒ අසල හිරවීම නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුද පැය බාගයක පමණ කාලයක් අවහිර විය.




