රේගුවේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්


(අජන්ත කුමාර අගලකඩ)

රේගුව භාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට අද (07)දහවල් උපදෙස් දී ඇත .

රේගුව භාරයේ ඇති ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත .

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇත .

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න , මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහත්වරු සහ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය එම කමිටුවට ඇතුළත් වෙති .

උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ද ජනාධිපතිවරයා මෙම කමිටුවට උපදෙස් දී ඇත