රේගු බදු වංචාවේ සැකකරුට ඇප


(මනෝප‍්‍රිය ගුණසේකර)

රුපියල් කෝටි 12ක රේගු බදු වංචා කරමින් ටොන් 12ක බීඞී කොළ කන්ටේනරයක් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන මාස 21ක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ රඳවා සිටි රේගු නිශ්කාශන සමාගමක හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (6)  නියම කළේය.

රුපියල් ලක්‍ෂ 40ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනවීය.

රේගු බදු වංචා කරමින් බීඞී කොළ ගෙන්වීමේ ජාවාරමට රේගු නිලධාරීන්ද සම්බන්ධ බවට තම සේවාදායකයා දිව්රුම් පෙත්සමක් ලබාදීම හේතුවෙන් විමර්ශන සිදුකරන බව දැනුම් දෙමින් තම සේවාදායකයා රිමාන්ඞ් බාරයේ තැබීමට රේගු නිලධාරීන් කටයුතු කරන බව කියමින් නීතීඥ චමින්ද අතුකොරල මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස ඇප නියම කරන ලද්දේ රේගු නිශ්කාශන සමාගමක හිමිකරුවකු වන නිශ්ශංක ආරච්චිලාගේ අනුෂ්ක නිහාල් නමැත්තෙකි.

සැකකාර අනුෂ්ක නිහාල් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා හා රේගු දෙපාර්තමෙන්තුව වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කොට තිබු ඇප ඇයැදුම් පතක් සළකා බැලූ විනිසුරුවරයා ඔහුට ඇප නියම කළේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සමල්කා සමරසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු අධිකරණ භූමිය තුලදීම රේගු නිලධාරීන්ට පැමිණිලි කොට ඇතැයිද එවැනි තත්වයක් තුළ සැකකරුට ඇප නියම කළහොත් විමර්ශන වලට බාධා සිදුවිය හැකි හෙයින් සැකකරුට ඇප නියම නොකරන්නැයි ඉල්ලා සිටියාය.

සැකකාර රේගු නිශ්කාශන සමාගමක හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකොරල මහතා කරුණු ඉදිරිපත් කරමින් රේගු බදු වංචා කරමින් බීඞී කොළ ගෙන්වීමේ ජාවාරමට රේගු නිලධාරීන්ද සම්බන්ධ බවට තම සේවාදායකයා දිව්රුම් පෙත්සමක් ලබාදීම හේතුවෙන් විමර්ශන සිදුකරන බව දැනුම් දෙමින් තම සේවාදායකයා රිමාන්ඞ් බාරයේ තැබීමට රේගු නිලධාරීන් කටයුතු කරන්නේ යැයි පැවසීය.

සැකකරු අධිකරණ භූමිය තුලදීම රේගු නිලධාරීන්ට පැමිණිලි කොට ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය පැවසුවත් රේගු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලවත් කොට නැතැයිද සිදුනොවු දෙයක් රේගු නිලධාරීන් විසින් මෙලෙස ඉදිරිපත් කරන්නේ තම සේවාදායකයාට ඇප ගැනීම අවහිර කිරීමට යැයිද පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා සැකකරුට කොන්දේසි සහිත ඇප නියම කළේය.