රුසියාවෙන් ඇමෙරිකාවට වෛද්‍ය ආධාර


කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැටකන ඇමෙරිකා එක්සත් ජනපදයට මුඛ ආවරණ ඇතුළු වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානයක් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත.
 
රුසියන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුඛ ආවරණ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ රැගත් රුසියානු හමුදාවට අයත් ‘ඒන්. 124-100’ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, ඉකුත් දා (2) ඇමෙරිකාවට ළඟා වීමට නියමිතව තිබූ බව ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබිණි.
 
 රුසියන් ජනාධිපති පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ ඉකුත් 31 වැනිදා දුරකතන කතාබහක් පැවැත්විණි. එදිරිවාදිකම් පසෙකළා ඇමෙරිකාවට සහාය දැක්වීමට තමන් පියවර ගන්නා බව රුසියානු ජනාධිපති පුටින්, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
 
 ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලක්ෂ දෙකකට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් මිය යනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍යවරු අනතුරු අඟවා ඇත. ජාතිය අමතමින් ඉදිරි සති දෙක ඉතා තීරණාත්මක බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් දා පැවැසීය.
 
 ඊයේ (3) පස්වරු වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 245,573කි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 6,058කි. චීනයෙන් පිට දරුණු ලෙස කොරෝනා වයිරදය ව්‍යාප්ත වන ඉතාලියට ද රුසියාව මේ අයුරින්, විශේෂ හමුදා ගුවන් යනා මගින් වෛද්‍ය ආධාර යවා ඇත. ඉතාලිය ඉතා අසරණ වූ අවස්ථාවේ ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ කළ ඉල්ලීමකට අනුව රුසියාව එලෙස ආධාර යැවීය. 
 
රොයිටර් / ද ගාඩියන් 
 
055