(දයාරත්න ඇඹෝගම සහ මනුල වික්‍රම)
බන්ධනාගාර ගත කොට ඇති පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස සහ නිදුක් නිරෝගි බව ප්‍රර්ථනා කරමින් අද (20) මහා සංඝරත්නය අනුරාධපුර රුවන්වැලිසෑ චෛත්‍ය අබියසදී අධිෂ්ඨාන පුජාවක් පැවැත්වුහ.
මහා සංඝරත්නය පහළ මලුවේ සිට රුවන්වැලි සෑය දක්වා මල්පහන් රැගෙන රුවන්වැලි මහා සෑයට පුජා කිරීමෙන් අනතුරුව අධිෂ්ඨාන පුජාවක් සිදු කරනු ලැබීය.
රට දැය බේරා ගැනීම සඳහා සුදු ජාතීන් රට පාලනය කරන සමයේ පෙරට පැමිණියේ මහා සංඝරත්නය බවත් අදටත් ඉදිරියටත් රට විපතට පත්වන අවස්ථාවක පෙරමුණ ගැනීම මහා සංඝරත්නයේ වගකිම බවත් මෙහිදි අනුශාසනා කරමින් ජයන්ති විහාරාධිපති පුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ පැවසුහ.
මෙලෙස යුද්ධය නිමා කිරීමට දායකවූ රණවිරුවන් ආරක්ෂා කිරීමටත් රට දැය වෙනුවෙන් නිර්භයව සිය අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගතවුයේ උන් වහන්සේ සිදුකළ පුද්ගලික වරදක් නොවන නිසා බවද මෙහිදි අනුශාසනා කරමින් මිහින්තලේ විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්රතන හිමියෝ පැවසුහ.
අනතුරුව මහාසංඝරත්නය පිරිත් දේශනා කරමින් බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කායික මානසික සුවය ලැබේවා යැයි ප්‍රාර්ථනා කළහ.
මෙහෙදි රුවන්වැලි විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන සහ පොතානේගම ධම්මානන්ද යන හිමිවරුද අනුශාසනා සිදුකලහ. මෙම අධිෂ්ඨාන පුජාව සඳහා අනුරාධපුර අටමස්ථානයේ නායක හිමිවරු ඇතුළු අනුරාධපුර ප්‍රදේශයේ මහා සංඝරත්නය සහභාගි වූහ.
ඡායාරූප - දයාරත්න ඇඹෝගම
ඡායාරූප - මනුල වික්‍රම