හර්ෂණ තුෂාර සිල්වා
ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (18) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161 ක් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 161.00 ක් වූ අතර ගැනුම් අගය 157.80ක් විය.
මේ අනුව රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. ඉකුත් පෙබරවාරි පැවැති පළාත් පාලන ඡන්දයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ අස්ථාවරත්වයත් සමඟ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූනි 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4.2කින් අවප්‍රමාණය වී තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර දින එනම් පෙබරවාරි 9 වැනි දිනා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 156.18ක් ලෙස දැක්විණි.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල මේ වසර අවසන් වනවිට ඩොලරයට සාපේක්ෂව 163ත් 165ත් අතර අගයක් දක්වා පහත වැටෙනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
“ගෝලීය ප්‍රවණතා හේතුවෙන් රුපියල පීඩනයකට ලක්ව තිබෙනවා. එය රුපියලට පමණක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. ගෝලීය ප්‍රවණතා හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. ඩොලරයට සාපේක්ෂව ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙනවා” යැයි රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ ගනුදෙනුකරුවකු පවසා තිබිණි.