රුපියල තවත් බහී


(හර්ෂණ තුෂාර සිල්වා)

රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (6) 159.88ක් දක්වා පහළ ගියේය.

ඉකුත් පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහත වැටෙමින්  තිබෙන රුපියලේ අගය මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙය විය. 

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූනි 1 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම කාලයේදී ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියල සියයට 2.1කින් ද යුරෝවකට සාපේක්ෂව සියයට 1.3කින් ද අවප්‍රමාණය  වී තිබේ.  

රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මැයි (11) සඳහන් කළේය.

පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.  

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (6) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ස්ටලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 215.54ක් ලෙසත් යුරෝ එකකට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 188.67ක් ලෙසත් දැක්විණි.