රුචිර අබේමාන්නගේ මරණයට සම්බන්ධ සී.සී.ටී.වී. දර්ශන නොගැලපෙයි


(අප්සරා යෝසිත් විජේසූරිය)
 
පසුගිය 03 වැනි දින රිය අනතුරකින්  මියගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී රුචිර අබේමාන්න මහතාගේ මරණය සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදී  පොලිසියට භාරවීමෙන් පසු බන්ධනාගර ගතව සිට අද (06) ඉදිරිපත් කළ සැකකාර චූදිත චමින්ද දිල්ශාන් ජයවර්ධන නැමැත්තා අනතුර සිදුවූ අවස්ථාවේ රිය පැදවූ පුද්ගලයා නොවන බව සීසීටීවී දර්ශන අනුව පැහැදිලිවන බව පැමිණිල්ල වෙනුවෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥ නිරෝෂ් නින්දවත්ත මහතා අධිකරණයට දැනුම් දෙමින් පැවසුවේය.
 
රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ චූදිත සැකකරු බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර තිබුණි.
 
 එම අවස්ථාවේදී චූදිතයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ගාමිණී රත්නායක මහතා මෙසේ පැවසුවේය.
 
“අනතුර සම්බන්ධව කිසිඳු තොරතුරක් සැඟවීමට සැකකරු චූදිත විසින් කටයුතු කළේ නෑ.  මේ සිදුවීමෙන් පසුව අදාළ සැකකරු පොලිසිය වෙත ඉදිරිපත්වුණා. එම ස්ථානයට මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණියා. ඔවුන් විසින්  සැකකරු පදවාගෙන ආ රථයේ කැමරා උපාංග සහ චිප් එක පවා රැගෙන ගොස් තිබුණා.
 
මේ වාහනය අයිතිකරු පෙබරවාරි 2 දින අනතුරකින් රෝහල්ගතව සිටියා. වාහන අයිතිකරුගේ මිත්‍රයෙකුගේ විවාහ මංගල අවස්ථාවකට ගෙනා වාහනය අයිතිකරුට භාරදීමට එන අතරයි මේ අනතුර සිදුව ඇත්තේ. ජීප්රථය ඉදිරියට ගෙන යතුරුපැදිය මහඟැර වෙන පැත්තකට යන්න රියදුරු උත්සාහ කළත් එම මාධ්‍යවේදියා පදවාගෙන ආ යතුරුපැදිය අනතුර වන අවස්ථාවේ මාර්ගයේ මැද තිබුණා. යතුරුපැදියටත් මාර්ගයේ දෙපස ඉඩ තිබුණා” යයි චූදිත වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරයා පැවසුවේය.
 
මෙම නඩුවේ විමර්ශන පොලිසිය අවසන් කර නැති බවට අධිකරණයට කළ දැනුම්දීමත්, නඩුවේදී අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන් සහ චූදිතයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා කළ කරුණු දැක්වීමත් සලකා බැලූ රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා මහත්මිය විසින් මෙම නඩුව පෙබරවාරි 13 දක්වා කල් තැබුවාය.
 
සැකකරු පෙබරවාරි 13 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ද නියම විය.