රිසානාගේ මවට පියාට අඬන්න කඳුළුත් නෑ


සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව හිස ගසා මරා දැමුනු රිසානා නෆීක් ගේ මාපියෝද නංගී සහ මල්ලීද දැඩි ශෝකයට පත්ව සිටියහ.
මුතූර් සාපිනගර් ප‍්‍රදේශයේ රිසානාගේ නිවස පිහිටා තිබිණි. එය වටේට තහඩු ගසා පොල් අතු සෙවිලි කල මඩුවක් වැනි නිවෙසකි. අද (9) පස්වරුවේ අප එහි යනවිට එම නිවසේ සිටියේ රිසානාගේ මව ෆරීනා නෆීක් (43) සහ නැගණියන් දෙදෙනා වන රිෆ්නා සහ රිෆ්කා ද මල්ලී රිෆ්කාන් පමණි. රිසානාගේ පියා මීට තෙදිනකට පෙර උණ රෝගය වැළඳීම නිසා රෝහල් ගත කර සිටියි.
රිසානාට මරණ දඬුවම ලබාදීමේ ආරංචිය ලැබීමත් සමග සාපි නගර් ගමේ විශාල පිරිසක් රිසානාගේ නිවෙසට පැමිණ සිටියහ.
රිසානාගේ මව සහ ඥාතීන් කිසිත් කීමට නොහැකි තරම් ශෝකයකින් පසුවූ අතර අසල්වැසියකු වූ කබීබ් මොහොමඞ් තවුෆික් මහතා මෙසේ පැවසීය.
එයා රට යනකොට පොඩි ළමයෙක් රිසානා පවුලේ වැඩිමලා. ඒ අයට ගොඩක් ආර්ථික ප‍්‍රශ්න තිබුණා. රිසානා රට ගියේ ඒ ආර්ථික ප‍්‍රශ්න වලට විසඳුමක් සොයන්නයි.
රිසානා ගමේ ඉන්න කාලේ අපි කාටත් උදව් කළා. ගමේ පොඩි දරුවන් බලාගත්තා. ඔවුන්ට ආගම උගන්වන්නත් ඇය හරිම කැමතියි. ගමේ සියලූමදෙනා සමග ඇය ඉතා සුහදව ඇසුරු කළා. ඇගේ වෙන්වීම අපට අදහගන්නත් බැහැ.
ඇය රට ගිහින් අවුරුදු හත අටක් පමණ වෙනවා. සෞදියේදී මෙම වරදට හසුවීමෙන් පසුව ඇයට කවදාහෝ නිදහස ලැබේයැයි අප බලාපොරොත්තු වුණා. රිසානා අද හෝ හෙට ඒවියැයි අප හැමදාම බලාපොරොත්තු වුණා. ඒත් ඇය ආවේ නැහැ. ඇය දැන් ජීවතුන් අතර නැහැ. රිසානාගේ පවුලේ වගේම ගමේ අයගේ එකම බලාපොරොත්තුව රිසානාගේ දේහය හෝ ගමට ගෙන්වා ගැනීමයි. ඒ සඳහා උපකාර කරන ලෙස රජය ඇතුළු සියලූම අංශ වලින් ඉල්ලා සිටිනවා.
ඇය පණපිටින් ලංකාවට ගෙන්වාගැනීමට නොහැකි වුණත් ඒ සඳහා අවංකව කැපවූ පිරිසට අප ස්තුති කරනවා. රිසානාගේ පවුලේ අය වගේම මුළු ගමම ඇගේ වියෝවත් සමග එකම පවුලක උදවිය ලෙස ශෝක වෙනවා. අද මුළු සාපිනගර් ගමම මළ ගෙදරක් බවට පත්වෙලා.
රිසානාගේ තාත්තා ජීවත් වන්නේ කැලයට ගොස් දර කපා විකිණීමෙන්. රිසානාගේ මව රැකියාවක් කරන්නේ නැහැ. ඔවුන්ට තවත් දරුවන් තිදෙනකු සිටිනවා. ඒ පවුල දැන් ආර්ථික වශයෙන් මෙන්ම මානසිකව අන්ත අසරණ තත්ත්වයකට පත්වෙලා.
ඔවුන්ට ඇති එකම සේසත ගොන් බානක් සහ කරත්තයක් පමණයි. ඔවුන් ජීවත්වන කුඩා ටකරන් මඩුව වැස්සට තෙමෙනවා. කුසගින්න නිවාගන්නෙත් බොහෝ අසීරුවෙනුයි. රිසානා රට ගියේ එම තත්ත්වයෙන් තමාගේ පවුල මුදවා ගන්නයි. නංගිලා දෙන්නාටත්, මල්ලීටත් ඉගැන්වීම තමාගේ එකම අරමුණ බව රිසානා රට යන්න පෙර අපට පැවසුවා. නමුත් ඒ බලාපොරොත්තු ඉටුකර ගන්නට ඇයට හැකිවුණේ නැහැ.

රිසානා ජීවත් වූ නිවෙස