( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු දින ප්‍රහාර එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තමන් රදවා තබා ගැනීමට ලබා ගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කර වහාම මුදාහරින නියෝගයක් නිකුත් ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය .
මෙම ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි පන්සියයක වන්දි මුදලක් ගෙවන ලෙස වගකිවයුත්තන්ට නියම කරන ලෙස ද ඔහු පෙත්සම මගින් ඉල්ලා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය 111හී ස්ථානාධිපති, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, එහි අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පති, සහ නීතිපති මෙහි වගඋත්තර කරුවෝ වෙති.
නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මගින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමන් මෙන්ම සිය සොයුරා ද පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන මුදාහැර සිටි බවත්, ඒ සම්බන්ධයෙන් මුස්ලිම් විරෝධීන්ගේ විරෝධතා එල්ල වූ බව ද පෙත්සමේ සදහන් වේ.

