රියදුරුවරිය පොලිස් පොත් උදුරාගෙන පනී


මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබූහ.

උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.

අද ඇගේ සැමියා පොලිසියට පැමිණ සිය බිරිය කළ දේ ගැන කනගාටුව පළ කර පොලිස් පොත් හා හෙල්මටයද පොලිසියට බාරදුන්නේය.

බිරිය අසනීප ගතියෙන් පෙළෙන බව ඔහු කියා ඇත. දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිදුවීම එම අවස්ථාවේ එහි සිටි අයකු විසින් රූගත කර අන්තර්ජාලයටද මුදා හැර තිබුණි.

 

(වීඩියෝ යූ ටියුබ් ඇසුරිණි)