රිය අනතුරින් දහම්පාසල් යමින් සිටි දරුවා රෝහලේ


(කේ. බුද්ධික කුමාරසිරි)

ගොඩගම - අතුරුගිරිය මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්නයේ දී කැබ් රථයක් මාර්ගය අයිනේ සිටි දහම් පාසල් දරුවෙකුගේ ගැටී ලොතරැයි අලෙවි කූඩුවකද ගැටීමෙන් අද (04) උදෑසන  සිදුවූ අනතුරින් දහම් පාසල් දරුවා සහ තවත් අයකු රෝහල් ගත කළ බව මීගොඩ පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ ලොතරැයි අලෙවි කූඩුවේ සිටි පුද්ගලයාගේ තත්ත්වය බරපතල බවත් දොළොස් හැවිරිදි දහම් පාසල් සිසුවා ද නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

ගොඩගම දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ කැබ් රථය මාර්ගය අයිනෙන් යමින් සිටි දහම් පාසල් දරුවාගේ ගැටී ඉදිරියට ඇදී ගොස් ලොතරැයි අලෙවි කූඩුවේ ගැටී නතර වී ඇති බවත් ඒ අසල නවතා තිබූ තවත් යතුරුපැදියකට එම අනතුරින් හානි සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.