
(විනීතා එම් ගමගේ)
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිව පවතින තදබදය අඩු කිරීම සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ උපදෙස් මත කමිටුවක් පත් කර තිබේ.
අධිකරණ අමාත්‍යංශ්‍යයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති එම කමිටුව රස පරික්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය යන ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත වන බව අධිකරණ අමාත්‍යංශය කියයි.
සති තුනක් ඇතුළත ඊට අදාළව අතුරු වාර්තාවක් ලබා දෙන්නැයි එම කමිටුවට අමාත්‍යවරයා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට අද (03) පැවැසීය.
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසඳුම් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා මෙම කමිටුව පත් කර ඇත.
මේ වනවිට රිමාන්ඞ් බන්ධනාගාරය වෙත දිනපතා ගෙන එන පිරිස අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් එන පිරිස් අතිශයින් වැඩිවී ඇති බවත් එයින් ද මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින සිරකරුවන් පිරිස සීග්‍රයෙන් වැඩි වී ඇති බවත් කී එම නිලධාරියා මෙම ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ද මෙම කමිටුවෙන් නිර්දේශ බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
එමෙන්ම මේ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් මාස තුනක් ඇතුළත ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් දී ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.
එමෙන්ම එම රිමාන්ඞ් සිරකරුවන් සම්බන්ධ කටයුතු වල දී රස පරික්ෂක වාර්තා ප්‍රමාද වීම් ඇත්නම් ඒ පිළිබඳව ද වැඩි දුර සොයා බලන්නැයි ද අදාල කමිටුවට උපදෙස් දී ඇතැයි එම නිලධාරියා තව දුරටත් පැවසීය.

