(විනීතා එම් ගමගේ)
දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන්ගේ ප‍්‍රශ්න විසඳිම සඳහා ඍජුවම මැදිහත් වීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව අධීකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
බන්ධනාගාර ගතව සිටින රැඳවියන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳ ප‍්‍රශ්න මෙන්ම බන්ධනාගාරයෙන් සිදුවන යම් අසාධාරණයක් සිදුවී නම් ඒවා පිළිබඳව සාධාරණය ඉටුකර ගැනීමට නිසි ක‍්‍රමවේදයක් නොමැති කමින් රැඳවියන් අසීරුතාවයට ලක්වන බව ද ඇය කිවාය.
මේ තත්ත්වයන් මඟ හැරීම සඳහා නව වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරිය කීවාය.
අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ බූස්ස බන්ධනාගාරයේ පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා එහි කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය අමතමිනි.