රැකියාව අහිමිවී එන ශ්‍රී ලාංකිකයින්ගේ රක්ෂණයෙන් කෑල්ලක් හැළෙයි


(විනීතා එම් ගමගේ)

රෝග  පීඩා හෝ වෙනයම් හදිසි  කරුණු මත රැකියා අහිමි වී යළි මව් රටට එන, විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණ ආවරණයෙන් මෙතෙක් ගෙවූ ගුවන් ටිකට් පතේ මුදල ගෙවීම මේ වනවිට නතර වී ඇතැයි පැවැසේ.

විදේශ රැකියාවක යෙදී සිටියදී හදිසි රෝගාබාධවලට හෝ අනතුරුවලට ලක්ව රැකියාව කළ නොහැකි තත්ත්වයකට පත්වන අයට විදේශ ගතවීමට පෙර කාර්යංශයෙන් ලබාදෙන රක්ෂණාවරණය යටතේ වෛද්‍ය ප‍්‍රතිකාර වියදම් පූර්ණය කරනු ලබන අතර ආපසු මව් රටට ඒමට ලබාගත් ගුවන් ටිකට් පතේ වියදම ද ලබාදෙනු ලබයි. 

මෙසේ ගුවන් ටිකට් පතේ මුදල ලබා ගැනීමට අයදුම් කළ 400 කට ආසන්න පිරිසක් මේ වනවිට පොරොත්තුු ලේඛනවල සිටින බව කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව කාර්යංශයෙන් කළ විමසීමක දී එහි නිලධාරියෙකු සඳහන් කළේ ගුවන් ටිකට්පත්වල මිලගණන් පිළිබ`ද ඇතිවූ විශමතාවයක් මත මෙසේ ටිකට් පත්වල වටිනාකම ගෙවීම ප‍්‍රමාද වූ බවය. 

එහෙත් ගෙවිය යුතු ටිකට්පත් වල මුදල් අනිවාර්යයෙන් ගෙවන බවත් ජුලි මාසය අවසන්වීමට ප‍්‍රථම එම මුදල් ගෙවා අවසන් කළ හැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය. 

ඩොලරයේ අගය වෙසන්වීම ඇතුළු ප‍්‍රශ්න මේ තත්ත්වය උදාවීමට හේතු වූ බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.