රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්


(බිඟුන් මේනක ගමගේ)


ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුර සඳහා තෝරා ගත් උපාධිධාරීන්ගේ පත්වීම් ප්‍රමාද කිරීම ගැන සොයා බලන්නැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.


ප්‍රාදේශීය ළමා ආරක්ෂක තනතුර සඳහා පසුගිය වසරේ මැයි 28 වැනි දා පුවත්පත් දැන්වීමක් මගින් අයැඳුම්පත් කැඳවා ඔක්තෝම්බර් 12 වැනි දා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත් එයින් තෝරාගත් 116 දෙනෙකුට ඒ බව දෙසැම්බර් 12 වැනි දා ලිඛිතව දැන්වීමට ළමාරක්ෂක අධිකාරිය කටයුතු කර ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.


තනතුරට අදාළ විධිමත් පත්වීම් ලිපියක් යථා කාලයේදී නිකුත් කරන බව එහි සඳහන් වුවද මාස පහකට අධික කාලයක් තිස්සේ පත්වීම් පමා කිරීමෙන් සුදුසුකම්ලාභීන් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි සංගමය අවධාරණය කරයි.


එම නිසා එම උපාධිධාරීන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි පත්කිරීම් කඩිනම් කිරීමට මැදිහත්වන්නැයි එම සංගමය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.