(නිමල කොඩිතුවක්කු)
රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ ප‍්‍රධාන ලේකම් මනුල පෙරේරා මහතා පැවසීය.
උපාධිය ලබා ගැනීමේ සිටම මෙම වැඩපිලිවෙළ සකස් විය යුතු බවත් ප‍්‍රායෝගික රැකියාවේ භාවිතයට අවශ්‍ය කුසලතාවය වර්ධනය කිරීමේ පුහුණු වැඩපිළිවෙලක් ලෙස එය දියුණු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය අද (20) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මනුල පෙරේරා මහතා මෙසේද කීය.
‘‘ප‍්‍රායෝගික රැකියාවේ භාවිතයට අවශ්‍ය කුසලතාවය වර්ධනය කිරීමට අවශ්‍ය පුහුණු වැඩපිළිවෙලක් ලෙස මෙරට අධ්‍යාපන ක‍්‍රමය තුළ උපාධිය අත්පත් කර ගැනීම සකස් විය යුතු බවට අපි යෝජනා කර සිටිනවා. දැනුම කුසලතාවය යාවත්කාලීනව පවත්වාගෙන යන පුහුණු වැඩසටහනකට අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
වර්ෂ 03 ක් 04 ක් 05 ක් වැනි කාලයක් ගත කර උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ට වසරක පුහුණුවක් ප‍්‍රමාණවත්. වසර දෙකක් ලබා දිය යුතු සංවර්ධන නිලධාරී තනතුරේ ඉටු කළ යුතු කාර්යභාරයට සරිලන පුහුණුව කුමක් ද යන්න අපි විමසා සිටිනවා.
බඳවා ගන්නා ක‍්‍රමවේදයේ දී උපාධිය ලබාගත් වර්ෂය මත පමණක් පදනම්ව බඳවා ගැනීම නොකළ යුතුයි. ඒ සඳහා ලබා ඇති උපාධිය, අදාල විෂයයන්, විශේෂවේදී උපාධිය, පන්ති සාමාර්ථ සැලකිල්ලට ගත යුතුයි. ලබා ඇති උපාධියට අදාල වූ අමාත්‍යංශ දෙපාර්තමේන්තු ආයතනවලට අනුයුක්ත කිරීමේ ක‍්‍රමවේදයක් අවශ්‍ය වනවා.
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගෙන පුහුණු කිරීම හා උපාධිධාරීන්ගේ සේවය නිසි පරිදි රාජ්‍ය සේවයට ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ආයතන ප‍්‍රධානීන් හා කළමනාකරුවන් මට්ටමේ නිළධාරීන්ට නිසි පුහුණුවක් අවබෝධයක් ලබා දීමට කඩිනම් ක‍්‍රියාමාර්ග අවශ්‍ය වන බවද ඔහු කියා සිටියේය.