රාජිත දැව සංස්ථා සභාපතිට සහතිකයක් දෙන්න යයි


(විනීතා එම් ගමගේ)

රාජ්‍ය  දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති තැනැත්තා පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ  කළේය.

අල්ලස් සිද්ධියක් මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා එම තනතුරේ සිටින බව තමන් දන්නේ ඔහු අත් අඩංගුවට පත්වීමෙන් පසුව යැයි ද හෙතෙම සඳහන් කළේය. 

තමන් ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මහානාම මහතා කටයුතු කළ බව ද හෙතෙම කියා සිටියේය.  

එවකට මුල්ලේරියාවේ රෝහලට යාබද ව තිබු ඉඩමක් චොක්ලට් සමාගමකට දී තිබු සිද්ධියක් සිහිපත් කළ අමාත්‍යවරයා එහි ගිවිසුම අවසන්ව තිබියදීත් එය යළි පවරාගන්නට ගිය අවස්ථාවේ ලේකම්වරයා  සමාගම වෙනුවෙන්  පෙනී සිටියේ යැයි ද සිහිපත් කළේය. 

ඔහු සමාගම් හා සමීපව කටයුතු කළ බව එවක  පටන්ම තමන් වටහා ගෙන සිටියේ  යැයි ද ඔහු තවදුරටත් පැවැසුවේය. 

අල්ලස් සිද්ධිය මත ඔහු සමඟ අත්අඩංගුවට පත් දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා තමන්ට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරියට  ගිය පුද්ගලයා යැයි ද හෙතෙම කියා සිටියේය. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (8) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.