( කාංචන කුමාර ආරියදාස)
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරිවල යෙදී සිටින රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන නිලධාරීන්ටද රජය විසින් දෙනු ලබන රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා අනුමැතිය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට අද (29) ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ග්‍රාම නිලධාරීන් සඳහා ඉකුත් මාර්තු 15 දා සිට ජූනි මස 15 වැනි දින දක්වා ඉන්ධන දීමනාව මසකට රුපියල් 450 බැගින් ලබාදීමටත් වෙනත් වසම්වල වැඩ බලන්නේ නම් එම දීමනාව රුපියල් 600 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඔවුන්ගේ දුරකථන දීමනාව රුපියල් 600 සිට 1500 දක්වාත් වසම තුළ රාජකාරි කිරීමේ දී ගෙවනු ලබන ගමන් දීමනාව රුපියල් 400 සිට රුපියල් 1200 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙන බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දඹුල්ලේ පිහිටි නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විෂයභාර ඇමැතිවරයා ලෙස තමන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට, මාණ්ඩලික නිලධාරීන්ට, පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු මන්ත්‍රීවරුන්ට, ග්‍රාම නිලධාරීවරුන්ට, සෞඛ්‍ය අංශවල සියලු නිලධාරීන්ටත්, ත්‍රිවිධ හමුදාවට හා පොලීසියටත් ප්‍රණාමය පුදකර සිටින බව ද ඔහු පැවසීය.

