රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය වැඩ අරඹයි


(තිළිණි ද සිල්වා)

මානව හිමිකම් ඇතුළු සෑම අංශයකම දියුණුවක් ඇති කළයුතු නමුත් ඒවා දියුණු කිරීම අවශ්‍ය වන්නේ බටහිර රටවල අවශ්‍යතාවය මත නොව අපේ රටේ අවශ්‍යතාවය මත බව කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා අද (19) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් පත්කිරීමෙන් අනතුරුව නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් විදේශ සබඳතා අමාත්‍යාංශයේදී අද (19) පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

ලෝකයේ බලවත් රටවල් විසින් මානව හිමිකම්, මාධ්‍ය නිදහස වැනි දෑ පාවිච්චි කරමින් දුප්පත් රටවල අභ්‍යන්තරයට ඇඟිලි ගසන බව පෙන්වාදෙන ඒ මහතා නොබැඳි රටවල් ලෙස පැමිණෙන අභියෝගවලට මුහුණ දියයුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු බවද කලාපීය රටවල් අතර එකමුතුවක් තිබෙන්නේ නම් මේ සඳහා සාර්ථක ලෙස මුහුණ දියහැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තාරක බාලසූරිය මහතා මෙසේද කීය

     ‘‘ඉතා වැදගත් විෂයක වගකීමක් මා වෙත බාර දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා. අද වනවිට ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඒ අනුව සියල්ල එකම ආකාරයෙන් වෙනස් වන්නේ නැහැ. ආර්ථිකමය වශයෙන් යුදමය වශයෙන් සංස්කෘතික වශයෙන් වෙනස් වෙන්න පුළුවන්.

ඉදිරි දශකයක දෙකක පමණ කාලයේ දී ලෝකයේ සීඝ්‍ර වෙනසක් සිදුවන්න ඉටකඩ තිබෙනවා. මෙයින් අපි ප්‍රයෝජන ගතයුතු වෙනවා. ආසියාවේ රටවල් තුළ ගණුදෙනු කරන්නේ වැඩියෙන්ම ආසියානු රටවල් සමඟයි. සංචාරක ව්‍යාපාරය ගත්විට සංචාරකයන් වුවද ආසියානු කලාපය ගත්විට වැඩියෙන්ම සංචාරකයන් යොමුවන්නෙත් අනෙක් ආසියානු රටවලටයි.

ඒ අනුව මෙහිදී අපිට අවස්ථාවන් රැසක් නිර්මාණය වී තිබෙනවා. යම් විදියකට විදේශ රටවල් එක් එක් රටවල් සමඟ ගණුදෙනු කරන විදිය කොවිඩ් වසංගතයෙන් පසුව ද යම් වෙනස්වීමක් දකින්න පුළුවන්.‘‘ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)