රාජ්‍ය ආයතනයන් තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය හා විකිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ලොව පුරා පවතින රෝග අතුරින් වැඩිම අවදානමක් ඇති පිළිකා රෝගය දිනෙන් දින වැඩි වීම හේතුවෙන් එය පාලනය සඳහා පියවරක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
1985 වසරේ දී නව පිළිකා රෝගීන් වාර්තා වීමේ දල අනුපාතය ජනගහනයෙන් ලක්ෂයකට 31.6 ක් වූ අතර, 2011 වනවිට එම අනුපාතය 83.7 ක් දක්වා වැඩි වී ඇතැයි අමාත්‍යංශය පවසයි.
එමෙන්ම පුරුෂ පක්ෂයට වැඩි වශයෙන් මුඛ පිළිකාව වැළදෙන අතර, සාමාන්‍යයෙන් වසරකට නව මුඛ පිළිකා රෝගීන් 2500 ක් වාර්තා වන බවද, බුලත්විට සැපීම ශ්‍රී ලාංකික ජනතාව අතර සමාජීය හා සංස්කෘතික වශයෙන් පිළිගත් පුරුද්දක් වුවද එය මුඛ පිළිකා වැළදීම සදහා බලපාන ප්‍රධාන අවධානම් සාධකය ලෙස තහවුරු කර ගෙන ඇතැයිද අමාත්‍යංශය කියයි.
2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදු කළ බෝනොවන රෝග වලට අදාල අවධානම් සහගත පිළිබද සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18-65 ත් අතර වැඩිහිටි පිරිමි අතරින් 26% ක් සහ කාන්තාවන් අතරින් 5% ක් දුම්රහිත දුම්කොළ භාවිතා කරන බවට තහවුරු ඇතැයිද අමාත්‍යංශය පවසයි
දුම් රහිත දුම්කොළ අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව පුරා දැනටමත් තහනම් කර ඇත.
බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සහ විකිණීම තහනම් කරමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරිම මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ඒ සදහා අවශ්‍ය පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම පහසුවක් වනු ඇතැයිද අමාත්‍යංශය සඳහන් කරයි.
(36698)

