සිරංගිකා ලොකුකරවිට
ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටා ඇති රාජ්‍ය ආයතන 15ක් දෙසැම්බර් මස අවසානයට පෙර කොටුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනය නිකුත් වී ඇති බවත් ඒ අනුව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ගාලු උරුමය පදනමේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත මහතා පවසයි.
මෙම තීරණය අනුව ගාල්ල කොටුවේ පර්චස් 60ක පමණ භූමියක පිහිටි සියලු ශාන්තුවරයන්ගේ පාසල හෙවත් ඕල්සෙන්ට්ස් විද්‍යාලය කොටුවෙන් ඉවත්කිරීමට නියමිතය. එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය, කොටුව පැරණි තැපැල් කාර්යාලය, පොලිස් නිල නිවාසය, රෝහල් මාවතේ පිහිටි ලංකා බැංකුව, වරාය අධිකාරියේ සංචාරක නිවාසය, මුහුදු පුරාවිද්‍යා ඒකකයේ කාර්යාලය, හාබර් මාස්ටර් කාර්යාලය, කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලය හා මහේස්ත්‍රාත් නිවස්න ද ගාලු කොටුවෙන් ඉවත් කෙරේ.
සභාපති දාස්වත්ත මහතා පවසන්නේ ඕල්සන්ට් විද්‍යාලයට ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා පාසලේ සංවර්ධනයට බාධාවක් බවට පාසලෙන් ම ලැබී ඇති ඉල්ලීම් සළකා බලමින් මෙලෙස ඉවත් කරන බවයි. අනෙක් ආයතන සියල්ල පැරණි ගොඩනැගිලිවල පිහිටා තිබීම හේතුවෙන් ඒවා නිසි පරිදි නඩත්තු නොකිරීමත්, වෙනස්කම් හා නවීකරණ කටයුතු හේතුවෙන් පුරාවිද්‍යාත්මක හා පැරණි වාස්තු විද්‍යාත්මක වටිනාකමට හානි සිදුවන බැවින් ද ඉවත්කරන බව ඒ මහතා කීවේය. එම ආයතන ඉවත්කිරීමෙන් පසු සංරක්ෂණය කර පැරණි සංස්කෘතික ලක්ෂණ ආරක්ෂාවන පරිදි ආර්ථික දේපලක් බවට පත්කරන බවත් දාස්වත්ත මහතා කීවේය.
ඉවත්කිරීමෙන් හිස්වන ගොඩනැගිලි හතරක් සංස්කෘතික කාර්යයන් සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බවත් අනෙක් ගොඩනැගිලි සංචාරක කර්මාන්තයේ ආයෝජන සඳහා ලබාදීමට කටයුතු කරන බව ද ගාලු උරුමය පදනම පවසයි. කාලතුවක්කු බළකාය විසින් අතීතයේ භාවිතා කර ඇති දැනට දකුණු පළාත් ඉංජිනේරු කාර්යාලය පිහිටා ඇති ගොඩනැගිල්ල අධිරාජ්‍යවාදී යුගයේ වාස්තු විද්‍යා ප්‍රදර්ශනාගාරයක් ලෙස ඉදිරියේ දී වැඩිදියුණු කිරීමට යෝජනා වී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

