රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවයි


සුජිත් හේවාජුලිගේ 
 
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයන්ගේ සංඛ්‍යාව 1109475ක්   දක්වා ඉහළ ගොස් ඇතැයි  අලුතින් එළිදැක්වුණු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තකයින් පිළිබඳ සංගණන වාර්තාවේ සඳහන් වෙයි.
 
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් පිළිබඳව 2016 වර්ෂයේ නොවැම්බර් 17 වැනි දා  පවත්වන ලද මෙම සංගණනයේ අවසන් වාර්තාව ජන ලේඛන හා සංඛ්‍යෙල්ඛන දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේදී සඳුදා (9) එළිදක්වනු ලැබීය. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහාභාගි වු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලෙකම් කේ.ඩී.එස් රුවන් චන්ද්‍ර මහතාට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා විසින් මෙම වාර්තාවේ මුල් පිටපත පිළිගන්නා ලදි.
 
මෙම සංගණනයට අනුව මුළු සේවා නියුක්තිකයන්ගේ  65.3 %ක් මධ්‍යම රජය යටතේ ද 34.7% ක් පළාත් රාජ්‍ය අංශය යටතේද පත්විම් දරති. මුළු සේවා නියුක්තිකයින් අතුරින් 485,471 දෙනෙකු රාජ්‍ය අංශයේ ආයතනවලටද  380,198  දෙනකු පළාත් රාජ්‍ය අංශයේ ආයතනවලටද  243,806 දෙනකු අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවලටද අනුයුක්තව සිටින බව සංගණන වාර්තාව පවසයි.
 
මුළු සේවා නියුක්තකයින්ගෙන්  55.1% ක් පිරිමින් වන අතර  44.9% කන්තාවෝ වෙති. මධයම රජය යටතේ පවතින ආයතනවල සේවා නියුක්තිකයින් ගෙන් බහුතරය  64%ක පිරිසක් වන අතර පළාත් රාජ්‍ය අංශයේ කාන්තා සේවා නියුක්තිකයන් ප්‍රමාණය  61.6%කි.
 
මුළු සේවක සංඛ්‍යාවවෙන්  35%ක් ආපොස උසස් පෙළ සමත්ව ඇති බවත් රාජ්‍ය හා ආර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගේ සෑම සිව්  දෙනෙකුගෙන් එක් අයකු (  26.2%) උපාධිධරයකු බවත් සංගණන වාර්තාවේ දැක්වෙයි. රාජ්‍ය සේවයේ සිටින 290000 ක් පමණ වන උපාධිධාරින්ගෙන් අ ඬකට වැඩි සංඛ්‍යාවක් ( 54%) තම මූලික උපාධිය ගෙන ඇත්තේ කලා විෂය ධාරාවෙන්ය.   14% ක් පමණ කළමනාකරණ විෂය ධාරාවෙන්ද  10%ක් පමණ විද්‍යා විෂය ධාරාවෙන්ද මුලික උපාධිය ලබාගෙන ඇත.
 
මෙම සංගණනයට අනුව මුළු සේවා නියුක්තිකයන්ගෙන්  66.8 %කට එනම් 741000 කට පමණ පරිගණකය භාවිතයෙන් කුමන හෝ කාර්යයක් කර ගැ‍නීමේ හැකියාව පවතියි. තවද සේවා නියුක්තිකයන්ගෙන් 404000 ක් පමණ කාර්යාලයීය රාජකාරි කටයුතු සඳහා පරිගණක භාවිත කරන බවත් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගෙන්  56.3% ක් පමණ අන්තර්ජාලය භාවිතා කරන බවත් හෙළිවී ඇත. විද්‍යුත් තැපැල භාවිතා කරන සංඛ්‍යාව  38.4% කි.