රාජපක්ෂ තවමත් ශ්‍රීලනිපයේ හොල්මන් කරනවා


පහුගිය කාලේ හිටපු හොරුන්ට, මිනීමරුවන්ට, කුඩුකාරයින්ට නාම යෝජනා දීමෙන්ම පෙනී යන්නේ  රාජපක්ෂ බලවේගය තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ඒ විදියටම ක්‍රියාත්මක  වන බව අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා  එසේ පැවසුවේ අද  ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා බාර දීමෙන් අනතුරුවය.

‘‘පක්ෂ වලට වඩා අපිට රටක් තිබිය යුතුයි. අපි දන්නවා ජනතාව එදා වගේම අදත් ඒ වෙනුවෙන් පෙළ ගැසී සිටිනවා. පහුගිය කාලේ මේ රටේ හැමෝම පක්ෂ බදාගෙන හිටියා.  පක්ෂය ආරක්ෂා කරනවා, පක්ෂය  විනාශ වෙන්න දෙන්න බැහැ කිය කිය රට විනාශ කළා.

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගත්තට පස්සේ ඉල්ලා සිටියා පහුගිය කාලේ හිටපු හොරුන්ට, මිනීමරුවන්ට, කුඩුකාරයින්ට නාම යෝජනා දෙන්න එපා කියා.  අද අපිට පෙනෙනවා ඒක වෙනස් වෙලා නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂගේ බලවේගය තාම ඒ විදියටම ක්‍රියාත්මක වෙනවා. සල්ලි තියෙන මිනිස්සුන්ට නාම යෝජනා දෙනවා හොඳ මිනිස්සුන්ට නාමයෝජනා දෙන්නේ නැහැ.

ගම්පහ දිස්ත්‍රික්කය ගත්තම ගම්පහ දිස්ත්‍රික්කය විනාශකරපු, හොරකම් කරපු, කප්පම් ගත්ත කෙනාට දෙන්නේ නැතුව එයාගේ නෝනට දීලා තියෙනවා. ඒක මහ විහිළුවක් බවට පත් වෙලා. කුඩුකාරයින්ට, මිනීමරුවන්ට නැවත දීලා  තියෙනවා.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුලත් කොලය ලකුනෙන් එන බොහෝ අය  පහුගිය කාලේ හොරකම් කරපු අයයි.  ඉතින් මේ තත්වය වෙනස් කරන්න නම් සියළු බලවේග එකතු විය යුතුයි.  එදා පක්ෂ පාට භේදයකින් තොරව ජනවාරි 8 වෙනිදා ලබා දුන් ජයග්‍රහණය අදත් පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව ලබා දෙන බව අපිට විශ්වාසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු  අපි  අද එක්සත් ජාතික පක්ෂය සමග  එකතු වී ඇත්තේ   ජනවාරි 8 වෙනිදා  ලබපු ජයග්‍රහණයෙන්  පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත්,  රනිල් වික්‍රමසිංහ අගමැතිවරයත් රටේ ඉදිරි වැඩ කොටස ඉදිරියට ගෙනියන්න හදපු ක්‍රමවේදයට ශක්තිය ලබා දීමටයි. 

අද අපි රට එක් තත්වයකට ගෙනත් තියෙනවා. ජාත්‍යන්තර ඉදිරියේ අද අපේ රට යම් තැනකට ඇවිත් තියෙනවා. රට ඇතුලේ නිදහසේ ජීවත්වෙන්න තත්වයක් ඇති වෙලා තියෙනවා. හොරකම නැති වෙලා, නාස්තිය, දුෂනය අඩුවෙලා තියෙනවා.  මේ සේරම ඉදිරියට ගිනියන්න පුලූවන් වෙලා තියෙන්නේ  මෛත්‍රී  - රනිල් එක ගමනක් ගියොත් පමණයි.  ඒකට තමයි අද අපි මේ නාම යෝජනා බාර දුන්නේ.

 6