රවී ඇතුළු 7 දෙනෙක් ගොනු කළ පෙත්සමට විරෝධතා දක්වන්න කල්දෙයි


(තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ  බැඳුම්කර වෙන්දේසි දෙකක දී රජයට අයත් රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කිරීමට එරෙහිව රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් , ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු හත්දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට වැඩබලන පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (25) තීන්දු කළේය.

ඒ අනුව පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා ලබන සැප්තැම්බර් 24 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසද අධිකරණය වගඋත්තරකරුවන්ට නියම කරන ලදී.

අභියාචනාධිකරණ සභාපති ඒ .එච්.එම්.ඩී නවාස්  සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන්  සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.

තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝෂියස් , එම සමාගමේ විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන , එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් , චිත්ත රංජන් හුළුගල්ල , මහ බැංකුවේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් ගොනු කළ රිට් පෙත්සම් ගොනු කරනු ලැබූහ.

පෙත්සම්කරුවන්ට එරෙහි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් , එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන්  ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත් ජූලි 07 වැනිදා අතුරු නියෝගයක් ද නිකුත් කෙරිණි.

නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රීට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක,  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන්  සිය පෙත්සම් මඟින් කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් භාරගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉකුත් මාර්තු 06 වැනිදා වරෙන්තු නිකුත් කළ බවයි.

මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමති නීතිමය මූලධර්මයට පටහැනිව බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.

එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලිසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස්ද බලරහිත කරන ලෙසද පෙත්සම්කරුවෝ  අභියාචනාධිකරණයෙන් ඉල්ලා  සිටිති.

එසේම මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා , රියන්සි අර්සකුලරත්න , නවීන් මාරපන  යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.