රවී අධිකරණයට පැමිණි බව සටහන් කරයි


(නිමන්ති රණසිංහ )
 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  ඇතුළු    සැකකරුවන් 7 දෙනකු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි බවට  කොටුව මහෙස්ත්‍රාත්   රංග දිසානායක මහතා අද (13)   අධිකරණයේදි සටහන්  තැබුවේය.

මෙම සැකකරුවන් අධිකරණයෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලිපි මගින් දන්වා යවන ලෙස මහෙස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියටද නියෝග  කළේය.

අභියාචනාඅධිකරණයේ නියෝග ප්‍රකාරව තමන් ඉදිරියේදී නඩුව කැඳවූ බවත් , ඒ සම්බන්ධයෙන්  නියෝගයක් ලබා දීම සඳහා තමන්ට අවසර ලබා  දී නැති හෙයින් හා  පැමිණිම පමණක් සටහන් කරීමට නියෝග ලැබීම හේතුවෙන් මෙලෙස  පැමිණිම සටහන් කරන බවද මහෙස්ත්‍රාත්වරයා එහිදී  සඳහන් කළේය.
 
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ විධායක අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂිස්, එහි සභාපති  ජෙෆ්රි ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන,චිත්ත රංජන් හුළුගල්ල  ඇතුළු 7 දෙනකු  අද අධිකරණයේ පෙනී සිටියහ.

මහබැංකු බැඳුම්කර වංචා  සිද්ධිය සම්බන්ධ සැකකරුවන් ලෙස  වරෙන්තු ලබා සිටින සැකකරුවන්ට අද සවස 4 ට  කොටුව අධිකරණයට පැමිණෙන්නැයි අභියාචනාධිකරණයෙන්  අද උදෑසන  නියෝග කෙරිණි. ඒ අනුව මෙම පිරිස අද  සිය නීතීඥයින්  සමඟ පැමිණ අධිකරණය හමුවේ පෙනී සිටියේය.