(මනෝප්‍රිය ගුණසේකර)
මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් කොටි 150 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ විභාග ලබන අප්‍රේල් 27 වනදා ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (26) තීරණය කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.
මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මුලින් චෝදනා විසි දෙකක් යටතේ නඩු පවරනු ලැබූවත් විත්තිය වෙනුවෙන් ගෙනා මූලික විරෝධතාවක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල චෝදනා 11කින් මවුන් නිදොස් කොට නිදහස් කිරීම නිසා ඉතිරි චෝදනා 11 යටතේ වූ මෙම නඩුව විභාග කිරීමට විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය .
2016 මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකල බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.
මෙලෙස චෝදනා නගා ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ වරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිවය.
නඩුව කැඳවූ අවස්ථාවේදී පමිනිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබූ චෝදනා 11 පවත්වාගෙන යාමට නොහැකි බවට මෙම අධිකරණය දුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය ඇපෑලක් ඉදිරිපත් කොට ඇතැයි පැවසීය.
එම ඇපෑල ලබන 21 වන දා සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතව ඇති හෙයින් එදිනෙන් පසුව මෙම නඩුව කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට සුදුසු යැයි හැඟෙන ඕනෑම නියෝගයක් කරන්නයි දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඉතිරි වී ඇති චෝදනා 11 පිළිබඳ විභාගය අප්‍රේල් මස 27, 28 සහ 29 යන දිනවල පැවැත්වීමට තීරණය කළේය.

