රනිල්ට ජපාන හරසර


පස්දින නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහත් හරසරින් සහ ඉහළම රාජ්‍ය ගෞරව සහිතව ජපන් රජය පිළිගත්තේය.

ශ්‍රී ලංකා වේලාවෙන් සෙනසුරාදා (3) පෙරවරු 11.30 ට පමණ ඔසාකා ප්‍රාන්තයේ කන්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජපානයට පැමිණි වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබූයේ කන්සායිහි ජපාන තානාපති අකිරා මීරා හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කොනචි සුගනුමා ප්‍රමුඛ ජජන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් විසිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට ජපන් රජය පියවර ගෙන තිබූ අතර ඔසාකා ප්‍රාන්තයේ මෙන්ම කන්සායි - කියතෝ නගරවලද ටෝකියෝ සහ ජපානයේ අනෙක් ප්‍රධාන ප්‍රාන්තවලද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය රැසක් අගමැතිවරයාගේ ජපාන සංචාරය පිළිබඳ පුවත් පළ කර තිබිණි.

අගමැති හා බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ආරක්ෂක රැකවල් මැද ප්‍රභූ රථ පෙළකින් කියතෝ නගරයේ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් වෙත කැඳවා ගෙන යනු ලැබූහ.

කියතෝ පැමිණි අගමැතිවරයා පිළිගනු ලැබුවේ ජපන් සංස්කෘතිය විදහා දැක්වෙන විශේෂාංග රැසකින් සමන්විත චාම් උත්සවයකිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද මේ ගමනට එක්වී සිටියේය.

ටෝකියෝ ආධාර සමුළුවෙන් 2003 වර්ෂයේදී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 45000 ක මුදලක් ගැනීමට ක්‍රියා කළ වික්‍රමසිංහ මහතා මෙවර සිය ජපන් සංචාරයේදී ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙළට ජපානයේ සෘජු දායකත්වය ගැනීමට අපේක්ෂිත බව ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පැවසීය.

DLD[1] DLD_2[1]