රනිල් සැප්තැම්බර් 14 ඉන්දියාවේ


රනිල් වික්‍රමසිංහ අගමැති ලබන 14 සිට 16 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක යෙදීමට නියමිත බව ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පත්‍රය කියයි.

වික්‍රමසිංහ මහතා අගමැති වීමෙන් පසු ඉන්දියාවට යන ප්‍රථම අවස්ථාව මෙයයි. දැනට ඉන්දියාවේ සංචාරයක යෙදෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදීන් සමග පැවසූයේ මෙම ගමන සැප්තැම්බර් 14 සිට 16 දිනවල සිදුවන බවයි.

සැප්තැම්බර් 15 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග දිවා භෝජනයේදී සාකච්ඡා කිරීමටද නියමිතය.

තමිල්නාඩුවේ රාමේෂ්වරම හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර පාලමක් ඉදිකළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර යෝජනා කර ඇති බව එක්ස්ප්‍රස් පත්‍රය කියයි. ඉන්දියාවේ මීට පෙර පැවැති රජය යෝජනා කළ සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට වඩා ගොඩබිමින් පාලමක් ඉදි කිරීමේ යෝජනාවට මෝදි රජය වැඩි සහායක් දක්වනු ඇතැයිද එම පුවත්පත පවසයි.

චීන රජය ඩොලර් කෝටි 150ක් (රුපියල් කෝටි 20690) වැයකර ඉදිකරන්නට යන වරාය නගරයට ශ්‍රී ලංකා රජය ඉඩ නොදෙනු ඇති බවට යම් ඉඟියක් ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වෙතියි එක්ස්ප්‍රස් පත්‍රය පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මතය වෙනස් කිරීමට ඉන්දියාව උදව් කරනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවන බවද එම පුවත්පත පවසයි.

දෙමළ ජාතික සන්ධානය කියා ඇත්තේ දේශීය පරීක්ෂණයක් නොව අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවයි. වික්‍රමසිංහ මහතා මේ ගමනේදී ඉන්දියාවේ සෙසු දේශපාලන නායකයන්ද හමුවීමට නියමිතය.