රනිල් යටතේ සජබ මන්ත්‍රීවරු ඇමතිකම් භාර ගන්නේ නැහැ


(නිමල කොඩිතුවක්කු)

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිදු අමාත්‍යධුරයක් භාර ගැනීමට සමගි ජන බලවේගය කිසිදු මන්ත්‍රීවරයකු කටයුතු නොකරන බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(13)පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවත් හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස අභියෝග කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

රටේ ගැටලු විසඳීම කෙසේ වෙතත් තම ජනාධිපති ධුරය සහ සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ පිරිනැමූ බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

සාමකාමී විරෝධතා කරුවන්, රටේ පොදු මහජනතාව, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ඉල්ලීම් වලට පයින් ගසා ව්‍යවස්ථාවෙන්  සහ සම්ප්‍රදායෙන් පරිබාහිරව පත් කර ඇති මෙම තනතුරට සමගි ජන බලවේගය සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.