රනිල් කසය අතට ගනී


පක්ෂ නායකත්වය දෙන නියෝග සහ උපදෙස් පිළිපැදීමට නොහැකි නම් වහා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉවත්ව යන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරු පස් දෙනෙකුට අද නියෝග කළේය.

මින් ඉදිරියට පක්ෂයේ ස්ථාවරය අභියෝගයට ලක් වන කිසිදු ක්‍රියාවලියක නිරත නොවන ලෙස ද, විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක නීතීඥ අජිත් පී පෙරේරා, ජාතික යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝධ් පෙරේරා, පත් කළ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුනට තරයේ අවවාද කැරිණි.

ඔවුහු විපක්ෂ නායක කාර්යාලයට කැඳවනු ලැබ සිටියහ.

ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට  එරෙහි දෝෂාභියෝග හමුවේ අභියාචනාධිකරණය විභාගය දින උසාවියට නොයා යුතු යැයි පක්ෂය ගත් තීරණයට එරෙහිව ඔවුන් ක්‍රියා කැර ඇතැයි වික්‍රමසිංහ මහතා කීවේය. මන්ත්‍රීන් පස් දෙනා සමාව ගත් බව ද වාර්තා වෙයි.