රන්ජන් වැඩිවන වැටුප් එපා කියයි


 

 

             

(ඩයනා උදයංගනී)

      

මැති ඇමැතිවරුන්ට ලබාදීමට නියමිත සියයට 215 ක වැටුප් වැඩිකිරීම ද තමා ප‍්‍රතික්ෂේප කරන බවත්, ඒ බව සඳහන් ලිපියක් කතානායක කරු ජයසූරිය මහතාට යොමු කළ බවත් සමාජ සවිබලගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  පැවසීය.

එසේම හැකිනම් එම වැටුප් වැඩිකිරිම ලබා නොගෙන ඉන්නැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට තමන් අභියෝග කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

මීට පෙර ලබාදුන් රුපියල් ලක්ෂයක වැටුප් වැඩිවීම හා රුපියල් 2500ක පැමිණීමේ දීමනාව ප‍්‍රතික්ෂේප කළ එකම මන්ත‍්‍රීවරයා තමන් බව කී රන්ජන් රාමනායක මහතා එයින් තමාට වාර්ෂිකව ලක්‍ෂ 50ක් පමණ අහිමි වන බව ද කීවේය.

ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 10.5ක් ණය බර වෙනුවෙන් ජනතාව දුක්විදින විට දේශපාලකයින් පරමාදර්ශී විය යුතු නිසා තමන් මෙම තීරණය ගත් බව ද ඔහු කීවේය.

වසර පහක සේවයකට විශ‍්‍රාම වැටුපක් හිමිවන එකම වෘත්තීය පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය බව ද කී නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාව විසින් මැති ඇමැතිවරුන්ගේ වාහන, දුරකථන හා විදුලි බිල්, ඉන්ධන වියදම, මන්ත‍්‍රී නිවාස ආදී සියලූ බර දරද්දී ඔවුන් මත බර තවත් බර පැටවීම අසාධාරණ බව ද සඳහන් කළේය.

ඊට අමතරව මත්පැන් බලපත‍්‍ර, ගුවන් තොටුපල වෙළඳසැල්, වැලි ගොඩදැමීම්, පස් හා මැටි කැපීම් ආදිය සඳහා බලපත‍්‍ර ලබාගැනීමෙන්, තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පවුලේ අය පත්කර ගැනීමෙන් මෙන්ම පර්පචුවල් වැනි දුෂිත ආයතනවලින් ද මැති ඇමැතිවරුන් මුදල් උපයන බව රන්ජන් රාමනායක මහතා පැවසීය.

එබැවින් විනිසුරුවරුන්ට වැටුප් වැඩිකරන ආකාරයට අනුව මැති ඇමැති වැටුප් වැඩිවීමේ අවශ්‍යතාවක් නොවන බව ඔහු සඳහන් කළේය.

තමන් අනුගමනය කරන්නේ උරුගුවේ ජනාධිපති, පකිස්තානයේ ඉම්රාන් ඛාන් වැනි දේශපාලනඥයින් බව කී රන්ජන් රාමනායක මහතා එම ආදර්ශය රටට ලබාදෙන්නැයි සෙසු දේශපාලනඥයින්ගෙන් ද ඉල්ලා සිටින බව කීවේය.