ඩයනා උදයංගනී
හෙළයේ මහා සිනමාකරු අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් ලැබුණු රණමයුර සම්මානය ඒ මහතාගේ ආදාහනය සිදුවූ ඊයේ (02) දිනයේදී අතුරදන් වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විදිමත් හා කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අතිශය කෞතුක වටිනාකමකින් යුතු මෙම සම්මානය අතුරුදන් වීම පිළිබඳව අංශ ගණනාවක් ඔස්සේ පරීක්ෂණ සිදුවන බැවින් ඊට සම්බන්ධ පුද්ගලයින් කෙටි කලක් තුල නීතිය ඉදිරියට ගෙන ඒමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ලැබී තිබූ මෙම සම්මානය නැතිවූ බව වාර්තා වීමෙන් තමන් ඉතා කම්පාවට හා සංවේගයට පත්වූ බව ද අමාත්‍යවරයා කීවේය.
මෙරට සිනමාවට විශාල මෙහෙවරක් ඉටුකළ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට හිමිවූ මෙම ජාත්‍යන්තර සම්මානය හුදෙක් ඒ මහතා ලද සම්මානයක් පමණක් නොව රටක් ලෙස ලැබූ ගරු සම්මානයක් ලෙස සැලකිය යුතු බව කී අමාත්‍යවරයා කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිතාමතා මෙම සම්මානය සොරා ගත්තානම් එය සොරකමකට වඩා මානව ගුණධර්ම වලට කළ අවමානයක් ලෙස සැලකිය හැකි බව ද ප‍්‍රකාශ කළේය.