රන් මිශ්‍ර පස් ජාවාරමේ පරීක්ෂණ යටගහලා


(ශිරාන් රණසිංහ)

රුපියල් කෝටි ගණනින් වටිනා රන් කැබලි මිශ්‍ර පස් පිටරට යැවීමේ ජාවාරමක් පිළිබඳ භූ විද්‍යා පතල් හා කැනීම් කාර්යංශය රටට හෙළි කළ ද ඒ පිළිබඳ කෙරෙන පරීක්ෂණ සියල්ල යට ගැසීමට ජාවාරම්කරුවන් මේ වනවිට සමත් වී ඇතැයි කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ලංකාදීපයට පැවැසීය.

පස් කැපීම හා ප්‍රවාහනයට දැඩි නීති රීති ක්‍රියාත්මක කර තිබියදී රන් මිශ්‍ර පස් කන්ටේනර්වල පටවා පිටරට පැටවීම ප්‍රශ්නයක් බවත් එම ජාවාරම ගැන කිසිවකු සොයා නොබැලීම පිළිබඳව පුදුම වන බව ද ඔහු කියා සිටියේය. 

ඉකුත් වසරේ ජුනි මාසයේදී මෙම රන් මිශ්‍ර පස් ජාවාරම මුලින්ම හෙළි වූයේ ශ්‍රී ලංකා රේගුවේ අවංක නිලධාරීන් කිහිපදෙනකු අපනයනය කිරීමට සූදානම් කර තිබූ කන්ටේනර් හතරක පස් සාම්පල් භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත එවීම නිසා යැයි ද ඉද්දවෙල මහතා පැවැසීය.

මෙම ජාවාරමට සහාය පළකළ බවට සැලකෙන පතල් කාර්යාංශයේ නිලධාරීන් දෙපළකගේ වැඩ තහනම් කොට ඒ පිළිබඳ සිදුකළ රසායනාගාර පරීක්ෂණවලින් පසුව අපනයනය කිරීමට සූදානම් කොට තිබූ කන්ටේනර් හතරේ ඇති පස්වල රන් කැබලි ඇති බව හෙළි වූ බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව අදාළ පස් කන්ටේනර් හතරට අදාළව රුපියල් ලක්ෂ පනහක දඩයක් අයකර ගැනීමට රේගු නිලධාරීන් පියවර ගත්තේ පවතින නීති රෙගුලාසි අනුගමනය කරමිනි. 

මේ අතර තවත් පස් කන්ටේනර් 15ක් අපනයනය කිරීමට සූදානම් වන බවට කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව ඒ පිළිබඳ පරිසර හා මහවැලි අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතාට දැනුම් දී ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් දැනුම්වත් කිරීමට තමා ක්‍රියා කළ බව ද භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා පැවැසීය.
මෙම ජාවාරම හෙළි කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයාට ස්ථාන මාරුවීම් ලබාදීමට තරම් ජාවාරම්කරුවන් ප්‍රබල වී නම් පරීක්ෂණ කටයුතු සිදු නොවීම පිළිබඳ එක අතකට පුදුම විය යුතු නැතැයි සිතෙන බව ද ඔහු කියා සිටියේය.
මේ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය පරීක්ෂණ කරන බව කීව ද එවැන්නක් තාමත් සිදු වී නැතැයි ද සභාපතිවරයා පැවැසීය.

රුපියල් කෝටි ගණනක් වටිනා බව කියන රන් කැබලි මිශ්‍ර පස් ජාවාරම පිළිබඳ විමර්ශන නතර වී ඇද්දැයි ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ රූබන් වික්‍රමආරච්චි මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ පිළිබඳව වාර්තාවක් ශ්‍රී ලංකා රේගුවෙන් ඉල්ලා ඇතැයි ද එය තාමත් තමා වෙත ලැබී නැතැයි කියාය.

මෙම රන් මිශ්‍රිත පස් ජාවාරම පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය පරීක්ෂණ කරන බවත් කිසි ලෙසකින් පරීක්ෂණ කටයුතු නතර කර නැති බවත් වික්‍රමආරච්චි මහතා තවදුරටත් පැවැසීය.