රන් බිස්කට් සිද්ධියේ ආගමන විගමන නිලධාරිගේ වැඩ තහනම්


බිඟුන් මේනක ගමගේ  
 
රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් වටිනා රන් බිස්කට් හැටක් තම කලිසම් සාක්කුවල සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරියා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත.

 
අදාළ නිලධාරියා වැඩ තහනමකට ලක් කර චෝදනා පත්‍රයක් නිකුත් කළේ යැයි ද ඊට අදාළව මෙම විමර්ශනය පැවැත්වෙන්නේ යැයි ද ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පැවැසීය.
 
මෙවැනි චෝදනා ලැබූ නිලධාරින් කිහිප දෙනෙකු ගැනම විමර්ශන සිදුවන්නේ යැයි කී හෙතෙම විනය පරීක්ෂණය අවසානයේ දඬුවමේ ස්වභාවය තීන්දු කරන්නේ යැයි කීය.
 
තමා මීට පෙර එක් අවස්ථාවකදී  මෙසේ රන් බිස්කට් විදේශිකයකුගෙන් ගෙන ගුවන් තොටුපළින් පිටත පුද්ගලයෙකුට බැහැර කළේ යැයි අත්අඩංගුවට ගත් නිලධාරියා රේගුවට ප්‍රකාශ කර තිබිණි. 
 
රේගුව විසින් අදාළ රන් බිස්කට් රාජසන්තක කරනු ලැබූ අතර මෙම නිලධාරියාට රුපියල් තිස් ලක්ෂයක දඩයක් ගෙවීමට නියම කෙරිණි.