(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි අට ලක්ෂයක් (2,08,00,000) ක් වටිනා රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොහු හැටන් "ටෙම්පල් ටෝ" ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු අද දින උදෑසන 8.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E1201 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ඇද සිටි යට ඇදුම තුළ සහ ඔහු පැළද ගෙන සිටි පාවහන් යුවළ තුළ කිලෝ ග්රෑම් 03 ග්රෑම් 200 ක් බර මෙම රන් බිස්කට් 31 ක සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන ඩී.එන්.සී.අබේනායක , ඒ.කේ.ආර්.සමන්ජිත් , කේ.බී.බණ්ඩාර ,ඒ.එම්.ජී.ඩී.අලහකෝන් සහ පී.එච්.ඩී. පී.චන්ද්‍රසිරි යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය , එස්.පී. කිරිවත්තුඩුව , රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව් .බුද්ධරාජදාස , එස්.රණසිංහ යන මහත්වරුන් විසින් පවත්වමින් සිටිති .



