රන් බිස්කට් 29 ක් සමඟ දෙදෙනෙක් රේගුවේදී අල්ලයි


( ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් 29 ක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ තබාගෙන තල්ලු කරගෙන යෑමට ඇති ට්‍රොලියක යට පැත්තේ අලවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට වීමට සුදානම් වූ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

මොවුන්ගෙන් එක් අයෙකු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු වන අතර , අනෙක් පුද්ගලයා 43 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .මොවුන් ගුවන් මගින් ඩුබායි වෙත ගොස් භාණ්ඩ රැගෙන එන ව්‍යාපාරිකයෝ වෙති.

අද උදෑසන 7.30 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි පර්යන්ත ගොඩනැගිල්ල තුළ දී , මෙම රන් බිස්කට් මෙම ට්‍රොලියෙහි යට පැත්තේ අලවා ගෙන තිබූ බව රේගුව විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .

කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 900 ක් බර රන් බිස්කට් තිබූ බව රේගුව ප්‍රකාශ කරයි. කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සපයන ලද තොරතුරක් මත රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර  තිබිණි