රන් දඩය වැඩිකරයි


රුපියල් දහනම ලක්ෂ තිස්පන්දහසක් වටිනා රන් බිස්කට් හතරක් ගුද මාර්ගයේ සගවාගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ නියම කළ රේගුව එම රන් බිස්කට් හතර රාජ සන්තක කළේය.

මේ  පිළිබඳ රේගු පරීක්ෂනය   නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතා විසින් අද  සිදු කළේය.

මෙසේ දඩ නියම වුයේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පනස් අට හැවිරිදි ත‍්‍රීරෝද රථ රියදුරෙකුටය.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී පැවසුවේ මෙම පුද්ගලයා මින් පෙර හය වතාවක් පමණ ඉන්දියාවට ගොස් ඇති බවයි. එසේම මීට පෙර අවස්ථාවකදී ද මේ අයුරින්ම රන්  ඉන්දියාවට ගෙන ගිය බව මොහු පිළිගෙන ඇත.

අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්කට් වල බර ග‍්‍රෑම් තුන්සිය අසූ හතකි.  මෙම  රන් බිස්කට් දෙක බැගින් ගම් ටේප් සහ කාබන් කොළ  වලින් ඔතා තිබූ බව රේගුව කියයි.

මෙම පුද්ගලයා අද  අළුයම හතරට පමණ  එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සරත් බෝපේ ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ටී.ඒ පේ‍්‍රමචන්ද්‍ර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන මංජුල ප‍්‍රසාද්, ඒ. ඥානමෝහන්, ආර්.එල්.ඞී රණතුංග, ජේ.ඒ.ඞී.එල් රණසිංහ, ඞී.එම්.එස් කරුණාරත්න, කේ.කේ.ඞී ප‍්‍රියදර්ශනී සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කළහ.