ඉන්දියා රුපියල් පන් දහස බැගින් වූ මුදල් කොන්ත‍්‍රාත්තු මත රත්තරන් කැබලි 10 ය බැගින් ගිල දැමූ බව කියන ඉන්දියානු ජාතිකයන් දෙදෙනකු චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරුවෝ වයස අවුරුදු 46 හා 40 වියැති ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි කරුවෝ වෙති. ඔවුන් නිතර නිතර ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.
අද අළුයම චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන එක්ස් කිරන පරීක්ෂණයකට යොමු කොට ඇති අතර එහිදී බඩෙහි යමක් ඇති බවට සලකුණු වී ඇත.
පසුව රේගු නිලධාරීන් විසින් දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී තමන් රත්තරන් ගිල දමා පැමිණි බව ඔවුන් දෙදෙනාම පිළිගෙන ඇත.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා මොවුන් දෙදෙනාගෙන් වෙනම වෙනම ප‍්‍රශ්ණ කොට ඇති අතර එහිදි මින් එක් අයෙකු පවසා ඇත්තේ තමන් පෙරේදා ශ‍්‍රී ලංකාවට පැමිණි බවත් යලි ඉන්දියාව බලා යාමට කොළඹ සිට කටුනායක බලා පැමිනෙද්දී බස් රථයේදී හමුවූ තවත් ඉන්දියානු ජාතිකයෙක් විසින් මෙම රන් කැබලි ලබා දුන් බවත් බස් රථයේදී වතුර බිබී රන් කැබිලි එකින් එක ගිල දැමූ බවයි.
ඔහුට දරුවන් දෙදෙනෙකු සිටින බවත් ඉන්දියානු රුපියල් පන්දහසක මුදල් කොන්ත‍්‍රාත්තුවකට මෙය බාරගත් බවත් පවසා ඇත.
අනෙකා පවසා ඇත්තේ තමන් ඊයේ අළුයම මෙරටට පැමිණි බවත් ඇවරිවත්ත ප‍්‍රදේශයේදී තවත් ඉන්දියානු ජාතිකයෙක් විසින් මෙම රන් කැබිල ලබා දුන් බවයි. පසුව එම් ස්ථානයේදීම වතුර බිබී ගිල දැමූ බවත් ආපසු ඉන්දියාව බලා යාමට ගුවන්තොටපොළට පැමිණි බවත්ය.
ඉන්දියානු රුපියල් පන්දහස බැගින් වූ මුදල් කොන්ත‍්‍රාත්තුව මත මෙම රන් කැබලි ගිල දැමූ බවත් තමන්ට කුඩා දරුවන් දෙදෙනා බැගින් සිටින බැවින් බන්ධනාගාර ගත නොකරන ලෙසත් රන් කැබලි ආපසු ලබා දෙන බවත් මොවුන් දෙදෙනොම හඩමින් පවසා ඇත.
මේ වන විට රේගු නිලධාරීන් විසින් රන් කැබලි ලබා ගැනීම සඳහා ඔවුන්ට කෙසෙල් ගෙඩි ඇතුළු දියරමය ආහාර පාන ලබා දෙමින් රේගු බාරයේ රඳවාගෙන සිටින අතර සවස් වන විට අදිකරණ නියෝග මත මීගමුව රෝහලට ඇතුලත් කිරිමට නියමිතව ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොල රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ඒ අරුණ ශාන්ත, එම්.ඒ.ඹ් ප‍්‍රනාන්දු, එල්.ආර් නානායක්කාර, අයි.එම්.එල් දුෂ්‍යන්ත, එස්.යූ ලොකු බාලසූරිය, ටී.එල් සමරවීර යන නිලධාරීහු සිදුකරති.

