රතුපස්වල වෙඩි තියද්දී වෙල්ගමලා නිහඬ වුණා - චමීර පෙරේරා


නිමල කොඩිතුවක්කු
 
ජනවාරි 08 වැනිදා සිදුවූ දේශපාලන පරිවර්තනය හේතුවෙන් අද  සියලූ දෙනාට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කතා කිරිමට හැකියාව ලැබී ඇති බවත් මෙය ප‍්‍රයෝජනයට ගනිමින් කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර වැනි මහත්වරුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රිසිසේ අදහස් දක්වමින් සිටින බවත්  සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කොළඹදී  පැවසීය.

 
රතුපස්වල මිනිස්සුන්ට, බන්ධනාගාරයේ  සිරකරුවන්ට වෙඩි තියද්දී  නිහඬව සිටි ඔවුන් අද කඳවුරේ සිටම සිය කඳවුරේ අයට විරුද්දව හඬ නගන තත්වයට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
 
මරදාන   සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චමීර පෙරේරා මහතා මේ බව පැවසීය.
 
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා    මෙසේද කීවේය.
 
       ‘‘ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ  අභ්‍යන්තරයේ කැරුල්ල වගේම තවත් විරෝධතා පවතිනවා. අපි තවම ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරලා නැහැ කියලා පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වතාවටත් පවසනවා අපි දැක්කා.
 
ගෝඨාභය රාජපක්ෂ මහතාව එහෙම යෝජනා  කරන්න තරම් මහින්ද රාජපක්ෂ මහත්තයගේත් තවම හිත හැදිලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි සමහර න්‍යයාචාර්යවරුන් පවා අද ඔහු  පැසිස්ට්වාදය කරා ගමන් කරන බව පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්විය යුතුයි කියලා තර්ක කරපු දයාන් ජයතිලක මහත්මා වැනි අයත් දැන්  ප‍්‍රසිද්ධියේ කියනවා මේ ගමන් කරන්නේ පැසිස්ට් වාදයට කියලා. අති දක්ෂිණාංශික  මිල්ටරිවාදයක් දක්වා ඔහු ගමන් කරන බවට පවසනවා. දැන් ඒ කඳවුර ඇතුලෙන්ම  විරෝධය ඇතිවෙලා තියෙනවා.
 
අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්  පෙනී ඉන්න කුමාර වෙල්ගම මහත්තයට,  වාසුදේව නානායක්කාර මහත්තයට හැකියාව ලැබිලා තියෙනවා.  මේක තමයි 2015 ජනවාරි 08  සිදුවු දේශපාලන පරිවර්ථනය. මේ පරිවර්ථනය නිසා අද ඒ  කඳවුරේ අයට කඳවුරේ සිටම  පැසිසිට්වාදයට  විරුද්දව සටන් කරන්න පුලූවන් වෙලා තියෙනවා. 
 
රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියද්දි, බන්ධනාගාරයේ  සිරකරුවන්ට වෙඩි තියද්දි කියන්න මේ පැසිස්ට්  වාදය කරා යන්නේ ගෝඨාභය රාජපක්ෂ   වහාම මේක නතර කරන්න කියන්න වාසුදේව නානායක්කාර මහත්තයලට,  වෙල්ගම මහත්තයලට ඒ කාලේ හැකියාවක් තිබුනේ නැහැ. මේ අයට විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයටත් ඒ කාලේ මේ ගැන කිසිවක් කියන්න බැරිවුනා.

සමහරු  අහනවා වෙනස සැපයිද කියලා. දැන් ඇත්තටම වෙනස සැපයි කියලා  අපිට කියන්න පුලූවන් කම ලැබිලා තියෙනවා.‘