රතුපස්වල යළි රතුවේ


රතුපස්වල කම්හල යළි විවෘත කිරීමට විරෝධය පළ කරමින් ගම්පහ මිරිස්වත්තේ සිට බියගම දක්වා අද(13) උදේ ගමන් කිරීමට නියමිතව තිබූ රථ පෙළපාලියට පොලිසියෙන් බාධා  වෙතියි ලද තොරතුරු අනුව නවතා දැමූ බව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එය නවතා දැමීමට ආ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා සහ ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.

පෙරවරු 8.30ට රථ පෙළපාළිය ඇරැඹීමට නියමිතව තිබූ අතර ඒ වන විට වාහන 10ක් 15ක් මිරිස්වත්තේ නවතා තිබිණි. එතැනට ආ ගම්වාසීන් පිරිසක් පැවසුවේ පෙරදින රාත්‍රී පිරිසක් පැමිණ පෙළපාළියට සම්බන්ධ නොවන ලෙස ගම් වැසියන්ට දන්වා ඇති බවයි. බියට පත්  ගම් වැසියෝ රථ පෙළපාළියට සහභාගීවමට අකමැති බව ද ඔවුන් කීවේය.

රතුපස්වල ප්‍රශ්නය විසඳනවා වෙනුවට පැලැස්තර දමමින් ප්‍රශ්න අවුලුවන බව ද ඔවුහු කීහ

අද (13) පෙරවරු 10.15 පමණ ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා එම ස්ථානයට පැමිණ නවතා තිබූ වාහන වළ රියදුරන් කොහේදැයි විමසා රථ පෙළපාලියට නොයන ලෙස ඔවුනට තර්ජනාත්මක ස්වරයෙන් කතා කළ බව ද කියති.

පිරිසක් වාහනයකින් පැමිණ පිස්තෝල වැනි යමක් පෙන්වා තර්ජනය කළත් එම වාහනයේ අංකය නොදන්නේ බව ගැමියෝ කියති.

මිරිස්වත්තට ආ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා වාහන රියදුරන් අමතමින් මෙසේ ද කීවේය.

‘ඕනෑම දෙයක් වෙන්න කලින් දැනුවත් කරන එක අපේ යුතුකමක්.  මෙයින් ජනජීවිතය අවුල් වෙන්න පුළුවන්. දැන් සංහිදියාවක් ඇවිත් තියනවා කම්හල මාස හයකින් වහනවා කියා. දැන් ඊයේ අධිකරණයෙන් කියා තිබෙනවා ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්න කියා. උසාවි නියෝග වලට පිටින් යන්න කාටවත් බෑ. දැන් මේ කරන වැඩේට විරුද්ධ බලවේගෙකුත් තියනවා. කරුණාකරලා තමනුන්වහන්සේලා යන්න එපා. ගියොත් පෙළපාලිය විසිරෝනවා. වාහන අත්අඩංගුවට ගන්නවා. හැබැයි පස්සේ මොනවත් කියන්න එපා.

ඊයේ (12) දුන්න යම් අධිකරණ තීරනයකට පිටින් තමයි කටයුතු කරන්නේ. පෙළපාලි යන්න එපා කියා ඊයේ කිව්වා. යම් වචනයක් ලියැවිලා තියනවා. අදත් අපි අධිකරණ නියෝගයක් ගන්නවා. අධිකරණ නියෝගයක් ඇතත් නැතත් අපි මේක නවත්වනවා සාමය ආරක්ෂා කරන්න. පස්සේ කියන්න එපා වාහන කුඩුවුනා කියලා. කලින් අපි ඕගොල්ලන්ව දැනුම්වත් කරන්නේ. ඉතාම පැහැදිලියි මේක වෙනස් වෙන්නේ නෑ. මල්වතුහිරිපිටිය සහ වැලිවේරිය පොලිස්වසම්වල යන්න දෙන්නේ නෑ. යන්න ඕනැම නම් ගම්පහ පොලිස් වසම්වල යන්න.

අවවාද කරන එක මගේ යුතුකමක්. යන නොයන එක ඕගොල්ලන්ගේ වැඩක්. ගියොත් වෙන දේත් බලා ගන්න.‘

එලෙස රියදුරන්ට අවවාද කළ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා සියනෑ ජලය සුරැකීමේ ජන නැගුමේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා හමුවී රථ පෙළපාලිය නොපවත්වන ලෙස පැවසීය.  

හෙට්ටිආරච්චි මහතා හා කොඩිතුවක්කු මහතා අතර විනාඩි කිහිපයක උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.

සහකාර පොලිස් අධිකාරී ඡන්දන කොඩිතුවක්කු මහතා - ‘කම්හල වහන්න ඕනෑ කියන පොඩි කන්ඩිෂන් එකක් (කොන්දේසියක්) දැම්මා. එහෙම තියෙද්දී ඔබතුමාලා මෙහෙම කටයුතු කළොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. යන්න දෙන්නෙම නෑ මේ පළපාළිය. කිව්වොත් කිව්වා. මම ඉන්නේ. මම තෙල් බේත් වෙළෙන්දෙක් නෙමේ. හොඳට දැනගන්න. ඔබතුමාට ඕනැම නම් ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ යන්න.වැලිවේරියයි මල්වතුහිරිපිටියය් පොලිස් බල ප්‍රදේශවල එපා. ගියොත් වාහන අත්අඩංගුවට ගන්නවා. මිනිසුන් අත්අඩංගුවට ගන්නවා. ගැටුම්වලදි වාහන කුඩුවුණයි අරකයි මේකයි කියා අපට දොස් කියන්නත් එපා. ‘

ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා - ‘අපි මෙතනදි කිසිම නීති විරෝදී දෙයක් කරන්නේ නෑ. පත්‍රිකා බෙදන්නේ නෑ‘

කොඩිතුවක්කු මහතා - ‘පෙළපාළියක් යන්න අවසර ගන්න ඕනෑ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ ජන ජීවිතය සන්සුන්ව තිබෙනවා නම් පමණයි. දැන් එහේ ජන ජීවිතය සන්සුන් නෑ. ‘

හෙට්ටිආරච්චි මහතා - ‘අපි ඒ අදාළ ප්‍රදේශවල යන්නේ නෑ.‘

කොඩිතුවක්කු මහතා - ‘මං ඔයාට පැහැදිලිව කිව්වා. ඔයාගේ දේශපාලන ගමන නවත්වන්න නෙමේ මං හදන්නේ.‘

හෙට්ටිආරච්චි මහතා - ‘මෙතන දේශපාලනයක් නෑ‘

කොඩිතුවක්කු මහතා - ‘ඔයාගේ යටි අරමුණු මොකක් ද කියලා අපි දන්නවා. වැලිවේරියයි මල්වතු හිරිපිටියටයි නම් යන්න එපා. ඔබතුමා අත්අඩංගුවටත් ගන්නවා. ‘

හෙට්ටිආරච්චි මහතා - ‘මේ සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානය‘

කොඩිතුවක්කු මහතා - ‘සියනෑ ජලය සුරකින්න කියලා මිනිස්සු මැරෙන්න බෑ. දැන් මැරුණා ඇති. අපි මෙතන සංධිස්ථානයකට ඇවිත් තියෙන්නේ.  ඔබතුමා යන්න. වෙන පොලිස් බලප්‍රදේශයක යන්න.‘

හෙට්ටිආරච්චි මහතා - ‘දැන් ඔබතුමා මේක කියකන. මාස තුනක් මේ ප්‍රශ්නෙ ගියා. තාම නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයකට එන්න බැරිව ගියා. දැන් අපි සංවිධානයක් වශයෙන් මේකට හඩක් නඟලා. යම්කිසි විසඳුමක් හොයන්න හදනවා.‘

කොඩිතුවක්කු මහතා - ‘අනේ මහත්තයෝ සංවිධාන හදාගෙන හඬක් නගපු කට්ටිය අද එඩ්‍රසුත් (ලිපින) නැතිව එන්නෙත් නෑ. මේගොල්ලන්නට නායකත්වය දෙන්න එන්නේ නෑ. දැන් මහජනතාව යම්කිසි සංධිස්ථානයකට ඇවිත් තියෙන්නේ. ගිවිසුමක් තියනවා. ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්නැයි කියා තිබෙනවා. ‘

හෙට්ටිආරච්චි මහතා - ‘අපි කිසිම ගිවිසුමක් ගැහුවේ නෑ.ඒකෙ නීත්‍යනුකූල භාවයකුත් නෑ‘

කොඩිතුවක්කු මහතා - ‘ඔබතුමාල දැන් මේ කරන දෙයින් වෙන්නේ ඊයේ සිදුවීමට සම්බන්ධ බව කියන සැකකරුවන්ටත් යම් අගතියක් වීම. ‘

හෙට්ටිආරච්චි මහතා - ‘ඒ කිසිම කෙනෙක් මෙතනට සම්බන්ධ වෙලා නෑ අද.‘

කොඩිතුවක්කු මහතා - ‘මේ අහන්න.. පංසලක් ළඟින් යද්දී කවුරු හරි ගලක් ගැහුවොත් ඔබතුමාට වගකියන්න වෙනවා.‘

හෙට්ටිආරච්චි මහතා - ‘එහෙම කරන පිරිසක් මෙතන නෑ.‘

කොඩිතුවක්කු මහතා - ‘පිටින් ඉන්න මිනිහෙක් කොළොත් මොකද කියන්නේ? අපි ඔයාට ආරක්ෂාව දෙන්න එන්නේ නැහැනේ. හරි මෙච්චරයි කියන්නේ. මේක මගේ නියෝගයක්. මල්වතු හිරිපිටියයි වැලිවේරියයි බල ප්‍රදේශවල පෙළපාළිය යන්න බෑ. මං කලින් දැනුම් දුන්නා. ඔයාට කැමතිනම් යන්න. වෙන්නේ මොකක්ද කියලා බලා ගන්න.‘

හෙට්ටිආරච්චි මහතා - ‘මහත්තයා මෙතන ලොකු මානව හිමකම් උල්ලංගනය වීමක්.‘

කොඩිතුවක්කු මහතා - ‘ මානව හිමිකම් උල්ලංගනය වෙනව නම් ඔයාට යන්න ආයතන තියනවා. හැබැලි පෙළපාලි ගියොත් මං මේක නවත්වනවා. පස්සේ දොස් කියන්න එපා. ‘

හෙට්ටිආරච්චි මහතා - ‘අපිට ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් නැද්ද?‘

  කොඩිතුවක්කු මහතා -‘ඔයාට වැඩියෙ හොඳට මං මානව හිමිකම් දැනගෙන තියෙන්නේ. නීතියත් ඔබතුමාට වඩා දන්නවා. ඔබතුමා යන්න එපා. පස්සේ දොස් කියන්නත් එපා.‘

එම වචන හුවමාරුවෙන් පසු පෙළපාලි නොයන ලෙස දන්වා සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා පිටව ගියේය.

ඉන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ රථ පෙළපාලිය පවත්වන බවට මීට දින තුනකට පෙර බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දී තිබූ බවයි.

‘අපි සියලු පිරිස් සම්බන්ධ කරගෙන මේ පෙළපාළිය පවත්වන්න හිටියේ. උදේ උසස් පොලිස් නිලධාරියෙක් කියා කෙනෙක් කතා කර කිව්වා පෙළපාළිය යන්න එපා. අපේ කීම නාහ ගියොත් මා අත්අඩංගුවට ගන්නා කියලා. එහෙම අත්අඩංගුවට ගත්තොත් ඊයේ පෙරේදා කරපු සියලු සිදුවූම්වලට තමුන්නාන්සේ සම්බන්ධ කරනවා කිව්වා. ඊයේ රාත්‍රී ඉඳන් පිරිසක් ගම්වැසියන්ට බලපෑම් කර තිබුණා මේවාට සම්බන්ධ වෙන්න එපා කියලා. මේකට ආවොත් ගහනවා කියා තිබුණා. එහෙම කියල මෙතනට එන එක නැවැත්වුවා. මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.‘

පොලිසියෙන් කළ බලපෑම මත පෙළපාළිය නවතා දමන බව කියමින් පැමිණ සිටි පිරිස විසිර ගියහ.