රතු මුහුදු වෙරළ තීරය හූතිවරුන්ගේ ග්‍රහණයට‍


යේමනයේ රතු මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම තම පාලනයට යටත් කර ගැනීමට, ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්ට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

රතු මුහුදු වෙරළ තීරය සම්පූර්ණයෙන්ම තම පාලනයට යටත් කර ගැනීමට හූති සටන්කාමීන් සමත් වූයේ මෝචා වරාය නගරය සහ මයියුන් දූපත අත්පත් කර ගැනීමෙන් පසුවය.

විදෙස් මාධ්‍ය පවසන්නේ, හූති සටන්කාමීන් මේ වනවිට අප්‍රිකානු වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 20ක් පමණ දුරකින් ස්ථානගත වී සිටින බවය. 

ඒ අනුව, රතු මුහුදු සාගර ගමනාගමනයට අත්‍යවශ්‍ය ප්‍රධාන උපායමාර්ගික මර්මස්ථානයක් වන බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ද මේ වනවිට ඇත්තේ හූති පාලනය යටතේය. බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ පිහිටා ඇති ඉතාමත් තීරණාත්මක හා උපායමාර්ගික වැදගත්කමක් ඇති සමුදු සන්ධිවලින් එකකි.

භූගෝලීය වශයෙන් මෙම සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ අරාබි අර්ධද්වීපයේ දකුණු කෙළවරේ පිහිටි යමන රටට සහ අප්‍රිකානු අං කලාපයේ පිහිටි ජිබුටි සහ එරිට්‍රියාව යන රටවලට අතරතුරය. එය උතුරින් රතු මුහුද සහ දකුණින් ඒඩන් බොක්ක හරහා ඉන්දියානු සාගරය එකිනෙකට සම්බන්ධ කරයි.

හූතිවරුන් සහ සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා අතරේ මේ වනවිට දරුණු සටන් ඇවිලෙමින් පවතී.

ගතවුණු පැය 24 තුළ පමණක් යමනයේ සිට සරණාගතයන් 2,000කට වැඩි පිරිසක් දේශසීමා හරහා ඡිබුටි රාජ්‍යයට වෙත පලා ගොස් ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

යේමන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ඡිබුටියේ ඔබොක් නගරයට පලා යන මෙම සරණාගතයන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබා දීමට පියවර ගනිමින් පවතී.