රතු මුහුදට ආරක්ෂාව නොදුන්නොත් ලංකා වරායන් අනතුරේ


(අංජුල මහික වීරරත්න)

රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  ඇමතිවරු කිහිපදෙනෙකු අද පෙරවරුවේ මුණ ගැසුණු අවස්ථාවේදීය.මනූෂ නානයක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහා පාරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. 
රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීමට වැය වන මුදල දෙස බලා එම කටයුත්තෙන් ඉවත් වුවහොත් මෙරටට නැව් නොපැමිණීමෙන් දැවැන්ත පාඩුවක් රටට දැරීමට සිදුවන බවද ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

රතු මුහුදට ලංකාවේ  යුද නැව් යවන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂව සැපයීමට මිසක රාජ්‍යන් අතර ඇතිව තිබෙන යුද්ධයන්ට සහායදීමට නොවන බවද ජනාධිපතිවරයා  සඳහන් කර සිටියේය. 

තම රටවලට එන භාණ්ඩ ප්‍රවාහන නෞකා වලට ආරක්ෂාව සැපයීමට කලාපයේ අනෙකුත් රටවල් ද මේ වන විටත් ඉදිරියට පැමිණ තිබෙන බව ජනාධිපතිවරයා කීය.

හූති සටන්කාමීන් නිසා මේ වන විට බොහෝ නෞකා රතු මුහුද මඟහැර වෙනත් මාර්ග භාවිත කිරීම නිසා නෞකා ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇති බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ වරායට නෞකාවක් පැමිණීමට දකුණු අප්‍රිකාව වැනි රටවල් දෙසට ගොස් පැමිණීමට සිදුවන බැවින් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යාමට ඉඩ ඇති බවද පෙන්වා දුන්නේය.

මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මඟ බලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා  කියා සිටියේය.

හූති වැඩ කටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා  එහි ආරක්ෂාවට සහාය දීමට ශ්‍රී ලංකාව  එකඟ වී ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කීය.